Photobucket

Tuesday, December 4, 2012

දෝෂාභියෝගය කතා කළ හැක්‌කේ තේරීම් කාරක සභාවට පමණයි

මාධ්‍යය සදාචාරය රැකිය යුතුයි - කථානායක

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් කතා කළ හැක්‌කේ ඒ පිළිබඳව කටයුතු කිරීමට පත්කර ඇති විශේෂ කාරක සභාවට පමණක්‌ බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4 වැනිදා) පැවසීය.

දෝෂාභියෝගය සම්බන්ධව අනෙක්‌ අය කතා කිරීම සදාචාර සම්පන්න නැතැයි ද කථානායකවරයා සිහිපත් කළේය.අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට සම්බන්ධ කටයුතු පාර්ලිමේන්තුවට පමණක්‌ සීමා කරන ලෙස විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4 දා) කථානායකවරයාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වමින් හෙතෙම මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ගැටුමක්‌ ඇතිකරගත යුතු නැති බවත් දෝෂාභියෝගය සම්බන්ධයෙන් මාධ්‍යය කරන විවේචන නතර කළයුතු අතර ඒ පිළිබඳව කටයුතු කරන ආකාරය ගැන මාධ්‍යයන්ට උපදෙස්‌ ලබාදෙන ලෙසත් විපක්‍ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.

විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂ නායකවරයා තවදුරටත් මෙසේ ද කීය.

"ව්‍යවස්‌ථාවේ 107 වගන්තිය යටතේ චෝදනාවක්‌ ඉදිරිපත් කළ විට මාධ්‍යය කටයුතු කළයුතු ක්‍රමවේදයක්‌ තිබෙනවා. කාරක සභාවෙන් චෝදනා විභාග කොට ඉදිරිපත් කළ විට මෙම සභාවයි අවසන් තීරණය ගන්නේ. අද මාධ්‍යය සියලුම විනිශ්චයකාරවරුන්ට පහර දෙනවා. ඔවුන් විවේචනය කරනවා. විනිශ්චයකාරවරුන් සියලු දෙනාගේම ක්‍රියාකලාපය ගැන අපට ප්‍රශ්නයක්‌ නැහැ. මේවා මාධ්‍යයෙන් විවේචනය කරන එක නතර කරන්න ඕන.

අධිකරණයේ ස්‌වාධීනත්වය ගැන බලනවා නම් මේ කටයුත්ත අපි පාර්ලිමේන්තුවට පමණක්‌ සීමා කරමු. පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ගැටුමක්‌ අපට නැහැ. අගවිනිසුරුතුමිය ගැනත් එක එක කතා කියනවා. "මැතිනිය ලඡ්ජයි" කියලාත් කියනවා. මෙහෙම කියන එකේන් වෙන්නේ අධිකරණය සමඟ ගැටුමක්‌ ඇතිවීමයි. රාජ්‍ය මාධ්‍යවලින් ගහන එකත් විශාල ප්‍රශ්නයක්‌. ලැප්ටොප් ගත්තු එක වහගන්න පෞද්ගලික මාධ්‍යයත් ගහනවා. මටත් බණිනවා. මට බණින්නේ ඇයි? ස්‌ථාවර නියෝග 142 අනුව ඔබතුමාට පුළුවන් මේ ගැන නියෝගයක්‌ ලබා දෙන්න.

විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රීතුමා කටයුතු කරන්නේ නීතිඥ සංගමයේ සභාපති හැටියටයි. එතුමාට ඒ අයිතිය තියෙනවා. ඒ නිසා මේ කටයුත්ත පාර්ලිමේන්තුවට කරන්න දෙන්න. පාර්ලිමේන්තුවේ බලතල ගැන මා කතා කරන්නේ නෑ. අවශ්‍ය වුණොත් කතා කරන්නම්. විනිශ්චයකාරවරුන්ගේ ගෞරවයත් අපි ආරක්‍ෂා කළ යුතුයි.

විපක්‍ෂ නායකවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා මෙහිදී පැවසීය.

මේ ගැන කටයුතු කිරීමේදී මාධ්‍යයන්ට සදාචාරයක්‌ තියෙනවා යෑයි ද කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

කුෂාන් සුබසිංහ සහ අකිත පෙරේරා
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all