Photobucket

Monday, December 17, 2012

ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තබයි

ටී. එම්. ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස්‌ විසින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් එක්‌ කරන ලද වාර්තා ගත ලකුණු 161 ක සම්බන්ධතාව හේතුවෙන් ඔස්‌ටේ්‍රලියාව සමග හෝබාර්ට්‌හි පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේදී පළමු ඉනිම සඳහා ලකුණු 336 ක්‌ රැස්‌ කිරීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (16 දා) සමත්වූවේය. ලකුණු 114 ක පළමු ඉනිමේ වාසියක්‌ සමගින් සිය දෙවැනි ඉනිම ඇරැඹූ ඔස්‌ටේ්‍රලියානු පිල දිනය අවසන් වන විට කිසිවකු නොදැවී ලකුණු 27 ක්‌ ලබා මේ වන විටත් ලකුණු 141 ක්‌ ඉදිරියෙන් සිටියි.

ඊයේ දිනයේ විශිෂ්ඨතම ඉනිම ක්‍රීඩා කරන ලද ටී. එම්. ඩිල්ෂාන් සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ 15 වැනි ශතක රැස්‌ කරගනිමින් ලකුණු 147 ක්‌ ලබා ගැනීමට සමත්වූවේය. පන්දු 273 කින් සමන්විත වූ ඩිල්ෂාන්ගේ ඉනිමට හතරේ පහර 21 ක්‌ ඇතුළත් විය.

ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඩිල්ෂාන් විසින් වාර්තා කරන ලද දෙවැනි මෙන්ම හෝබාර්ට්‌ තණතීරුවේදී පිතිකරුවකු විසින් වාර්තා කරන ලද දෙවැනි වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාව වශයෙන්ද ඩිල්ෂාන් රැස්‌ කරන ලද ලකුණු 147 ක සංඛ්‍යාව සටහන් වේ. ඔහුට පෙර කුමාර් සංගක්‌කාර 2007 වසරේදී ලකුණු 192 ක්‌ ලබා තිබේ.

තෙවැනි දිනය ආරම්භයේ ලකුණු 87 කට කඩුලූ 4 ක්‌ බිඳ වැටී අසීරු තත්ත්වයක සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායමට පස්‌වැනි කඩුල්ල වෙනුවෙන් ඩිල්ෂාන් සහ මැතිව්ස්‌ ගොඩනංවන ලකුණු 161 ක සම්බන්ධතාව හේතුවෙන් පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ වෙනුවෙන් තිබූ අවධානමෙන් මිදීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට හැකිවිය.

මොවුන් දෙදෙනා අතර ගොඩනැංවුණු අදාළ ලකුණු සම්බන්ධතාව ශ්‍රී ලංකා පිතිකරු යුගලයක්‌ ඔස්‌ටේ්‍රලියාවේදී ඕනෑම කඩුල්ලක්‌ වෙනුවෙන් රැස්‌ කර තිබෙන ඉහළම ලකුණු සංඛ්‍යාව වශයෙන්ද සටහන් විය. මීට පෙර එම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන ලද්දේ රවී රත්නායක සහ අරවින්ද ද සිල්වා විසින් 1989 වර්ෂයේදී ගොඩනංවන ලද ලකුණු 144 ක සම්බන්ධතාව විය.

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවී ගිය පළමු පිතිකරුවා වූ මැතිව්ස්‌ ලකුණු 75 ක ලබා සිටියදී සිඩ්ල්ගේ පන්දුවක්‌ හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. දැවී යනවිටත් හෙතෙම සිය 11 වැනි ටෙස්‌ට්‌ අර්ධ ශතකය ලබාගෙන සිටියේය.

අනතුරුව ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ ප්‍රසන්න ජයවර්ධන ලකුණු 40 ක්‌ද නුවන් කුලසේකර ලකුණු 23 ක්‌ද ලැබීය.

ටෝනි හිල් විනිසුරුගේ දුර්වල තීරණයක්‌ හේතුවෙන් රංගන හෙරත් සිඩ්ල්ගේ පන්දුවක්‌ හමුවේ දැවී ගිය පිතිකරුවකු ලෙස නම් කිරීමත් සමග ශ්‍රී ලංකා අවසන් කඩුලූ 3 ම ලකුණු 16 ක්‌ තුළ බිඳ වැටීම විශේෂත්වයක්‌ විය.

ඔස්‌ටේ්‍රලියාව වෙනුවෙන් වැඩිම කඩුලූ ලාභියා වූ පීටර් සිඩ්ල් ලකුණු 54 කට කඩුලූ 5 ක්‌ බිඳ හෙලූවේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all