Photobucket

Monday, December 17, 2012

ඉඩම් අත්පත් කර ගැනීම් වෙනුවෙන් ඉඩම් හිමියන්ට තිස්හය කෝටියක් වන්දි

කොළඹ - හොරණ ප්‍රධාන මාර්ගයේ ජාලියගොඩ සිට කැස්බෑව දක්වා ඉදිකෙරෙන නව අතුරු මාර්ගය සඳහා ඉඩම් කැබලි 331ක් රජයට අත්පත් කරගෙන ඇතැයිද ඉන් ඉඩම් කැබලි 274ක් සඳහා රුපියල් තිස්හය කෝටි පන් ලක්‍ෂයකට අධික මුදලක් රජය විසින් ඉඩම් හිමියන්ට වන්දි වශයෙන් ගෙවනු ලැබ හිතැයිද ඉඩම් අත්පත් කරගැනීමේ නිලධාරි කැස්බෑව ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. කලුකපුආරච්චි මහතා පැවසීය.

ඉතිරි ඉඩම් කැබලි අතුරින් ඉඩම් කැබලි 36ක් මේ වන විට අධිකරණයට යොමුකොට ඇතැයි ද සෙසු ඉඩම් කැබලි 21න් 14ක් රජය සතු ඉඩම් යැයිද අනෙක් ඉඩම් කැබලි 7 හි හිමිකරුවන් හදුනාගැනීමට නොහැකි වී ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

මෙම ඉඩම් කැබලි සඳහා එම අතුරු මාර්ගයේ දෙවන අදියරේ වැඩකටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉඩම් හිමියන්ට වන්දි ගෙවා අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන හෙයින් ඒ සඳහා ඉඩම් හිමියන්ගේ කැපකිරීම හා සහයෝගය අත්‍යවශ්‍ය බවද ප්‍රාදේශීය ලේකම් කලුකපුආරච්චි මහතා පැවසීය.

ඉඩම් පනතට අනුව ඉඩම් අත්පත්කර ගැනීමේ නිලධාරිවරයා හැටියට තමාට මෙම කාර්ය භාරය පැවැරී ඇතැයිද එනිසා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හැටියට තමා මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.

මෙයට අමතරව කොළඹ හොරණ ප්‍රධාන මාර්ගයේ කැස්බෑව සිට පාමංකඩ දක්වා මංතීරු 4ක් සහිතව වැඩි දියුණු කිරීම සඳහා මේ වන විට කටුවාවල සිට පාමංකඩ දක්වා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද එම ඉඩම් සඳහා වන්දි මුදල් සියල්ල ගෙවා අවසන් කිරීමෙන් පසු එම මාර්ගයේ වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කරන බවද කැස්බෑව ප්‍රාදේශීය ලේකම් එල්. ඒ. කලුකපුආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all