Photobucket

Sunday, December 2, 2012

ඔබේ පවුලේ අයෙකුට පපුවේ අමාරුවක් හැදුණොත්......

හෘදයාබාධයක් ඇතිවන්නේ කවදා කොතැන කොයි වේලේදැයි කල් තියා කීමේ හැකියාවක් කිසිවෙකු තුළ නැත. නිවසේදී කාර්යාලයේදී හෝ මහමඟදී යමකුට පපුවේ වේදනාවක් ඇති වුවහොත් ක්‍රියා කළ යුතු ආකාරයත් රෝහලට ගෙන යාමට පෙර දිය හැකි ප්‍රථමාධාරත් පිළිබඳව දැන සිටීම වැදගත් ය. එහෙයින් පපුවේ අධික වේදනාවක් දැනුණු විට පහත කරුණු අනුගමනය කළ යුතුය.

  •  පළමුව රෝගියා තිරස්ව සතපවන්න. ඇඳක් නැත්නම් වඩාත්ම සුදුසු බිම දිගාවීමට සැලැස්වීමයි. පැත්තට හැරී සිටීමට අවශ්‍ය නම් එසේ කරන්න. සිහිමද රෝගියකු නම් පැත්තට හරවා තබන්න. වමනය හා කෙළ පෙණහැල්ලට යෑම වැළැක්වීම පිණීස එසේ හරවා තැබීම අවශ්‍ය වේ.
  •  දිගාවී සැතැපෙන්නට ඉඩක් නැත්නම් වාඩි කරවන්න. එහෙත් දෙපා ශරීර මට්ටමට එන ලෙස කකුල් ඔසොවා බංකුවක් වැනි දෙයක් මත තබන්න.
  •  වාඩි වී සිටීමෙන් හුස්ම ගැනීම වඩා පහසු බව රෝගියා පවසන්නේ නම් ඔහුට ඒ අයුරින්ම සිටීමට ඉඩ දෙන්න.
  •  තදට ඇඳ ඇති ඇඳුම් ලිහිල් කරන්න. ඉණපටි, ටයිපටි ආදිය ඉවත් කරන්න.
  •  මලපහ කිරීමට හෝ මුත්‍රා කිරීමට අවශ්‍ය නම් ඇඳේ දිගා වී සිටියදීම එසේ කරන්නට ඉඩ හරින්න. නැගිටුවා ඇවිදීමට ඉඩ නොදිය යුතුය.
  •  හෘද රෝගියකු ළඟ පාත සිටීදැයි විමසන්න. හෘද රෝගීන් ළඟ හදිසි අවස්ථාවක දී දිව යට තබා ගත යුතු ටී.එන්.ටී. පෙති ඇත. එබඳු රෝගියකු අසල සිටියහොත් ඔහුගෙන් ටී.එන්.ටී. පෙති දෙකක් ඉල්ලා කුඩු කොට රෝගියාගේ දිව යට තබන්න. විනාඩි දහයකට පසු වේදනාව තවමත් තිබේ නම් තවත් ටී.එන්.ටී. පෙති දෙකක් එලෙසම ලබා දෙන්න. පැය භාගයක් ඇතුළත පෙති හයකට වඩා නොදිය යුතුය.
  •  ඇස්පී‍්‍රන් හෝ දියවෙන සුලු ඇස්පි‍්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප කාලක දිය කොට රෝගියාට පොවන්න. මෙය ඉතා වැදගත් පියවරකි.
  •  දහදිය දැමීම අධික නම් රෙදි කඩකින් පිස දමා සෙමෙන් පවන් සලන්න.
  •  රෝගියා වටා බොහෝ දෙනා වට වීමෙන් වළකින්න. එයින් ඔහුට වාතාශ්‍රය නොලැබීම පමණක් නොව මානසික අසහනය ද වැඩිවේ.
  •  ගෑස් අඩංගු බීම, බ්‍රැන්ඩි ආදිය නොදිය යුතුය.
එම මූලික ප්‍රථමාධාර දීමෙන් පසු හැකි ඉක්මනින් රෝගියා ළඟම පිහිටි රෝහල වෙත ගෙන යාම සුදුසුය.

හෘදයාබාධ වළක්වාගන්න කන බොන දේ ගැන සිතන්න

හෘදයාබාධ වැළැක්වීම සඳහා සරල ආහාර උපදෙස් මෙසේ දැක්විය හැකිය.
ආහාරයට ගත හැකි ආහාර වර්ග අටකි.
  •  නිවුඩු හාල් බත
  •  පිටි ආහාර - ඉඳි ආප්ප, පිට්ටු, රොටී හැකි තරම් කුරහන් පිටි යෙදීම වඩා සුදුසුය.
  •  සියලුම එළවළු සහ පලා වර්ග
  •  සියලු වර්ගයේ පලතුරු
  •  පියලි වර්ග - මුං, කව්පි, සෝයා, පරිප්පු, කඩල
  •  බිත්තර සුදු මදය
  •  අලුත් මාළු හෝ අමුතු තෙලක් නොයෙදූ ටින් මාළු
  •  මේද රහිත කිරි
සෞඛ්‍යදායී ආහාර පිළිබඳ මූලධර්ම තුනකි.
  •  හැකිතරම් (මාළු හැර) මස් වර්ග අඩු කරන්න.
  •  පෙරාගත් ශාඛ තෙල් හැර ශාඛ ආහාර බහුලව ගන්න.
  •  ඕනෑම ආහාරයක් ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් වළකින්න.
වැළැකිය යුතු ආහාර වර්ග පහකි.
  •  මස් වර්ග - මාළු සහ හම ඉවත්කළ කුකුළු මස් පමණක් සුදුසුය.
  •  කිරි වර්ග - මේද රහිත කිරි පමණක් සුදුසුය.
  •  බිත්තර - කහ මදය නොකෑ යුතුය.
  •  මිටි කිරි - දෙවැනි හෝ තෙවැනි කිරි යොදා ආහාර පිසීම සුදුසුය.
  •  තෙල්, බටර් හා මාගරීන් වර්ග නොසුදුසුය.
පුද්ගලයකුට අවශ්‍ය දෛනික කැලරි ප්‍රමාණය ඒ ඒ පුද්ගලයාගේ උස හා බර අනුව වෙනස් වේ. බර වැඩි නම් හෝ අඩු නම් බර අඩු වැඩි කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත ලබාගන්නා ආහාර ප්‍රමාණය අඩු වැඩි කරගත යුතුය.

කුඩා ළමයින් ශක්තිය වැඩියෙන් වැය කරන හෙයින් ඔවුන්ගේ ආහාර පාලනය සුදුසු නැත. එහෙත් කුඩා කල සිටම පැණි රස සහ ලුණු සීමාවක් සහිතව ලබා දිය යුතුය. පැණි රස කෑම හෝ පැණි බීම බහුලව ගැනීම දන්ත සෞඛ්‍යයට ද අහිතකර වේ. යෞවනයේදී ද පෝෂණය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
යොවුන් වියේදී හුරු පුරුදු වන දුම්බීම, මත් වතුර බීම අයහපත් ආහාර රටා ඉතා ඉක්මනින් හදවත් රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ දමයි. වයස අවුරුදු තිහෙන් පසුව සෑම පුද්ගලයකුම සිය ආහාර වේල, යහපත් හුරු පුරුදු නිසි ව්‍යායාම හා මානසික සුවය පිළිබඳ විශේෂයෙන් සැලකීම හදවත් සුවය සඳහා බෙහෙවින් වැදගත් වේ.

සාගරිකා දිසානායක ජයසිංහ 
සිළුමිණ ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all