Photobucket

Saturday, December 29, 2012

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට නින්දා සහගත පරාජයක්

දින දෙකහමාරකදී ටෙස්ට් තරගය නිමවෙයි

මිචල් ජොන්සන්ගේ බියකරු වේග පන්දු හමුවේ ලකුණු රැස් කිරීම කෙසේ වෙතත් “ඇඟ බේරාගෙන ක්‍රීඩා කිරීමටවත් බැරිවුණු” ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තවත් දින දෙක හමාරක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියාව වෙතින් ඊයේ ඉනිමක හා ලකුණු 201ක අන්ත පරාජයක් ලැබූහ. මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර ත්‍රිත්ව ටෙස්ට් තරගමාලාවේ තරග 2 – 0ක ජයක් ද ඔස්ට්‍රේලියාව ට හිමි විය.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේදී ලකුණු 460ක් රැස්කර ගත් අතර මේ අනුව ඔවුන් ශ්‍රී ලංකාව ට වඩා ලකුණු 304කින් තරගයේ පෙරමුණ ට පිවිසියහ. ශ්‍රී ලංකාව ට දෙවැනි ඉනිමේ ලබා ගත හැකිවූයේ ලකුණු 103ක් පමණි. පැය දෙකක් හා මිනිත්තු දහයක් ඇතුළත යැවුනු ඕවර 24යි පන්දු 2කදී ශ්‍රී ලංකා ඉනිම අවසන් විය.

මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළපුරුදු පිතිකරු කුමාර් සංගක්කාර, කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන හා වේග පන්දු යවන චානක වෙලගෙදර ආබාධයන්ට ලක්වෙමින් පිටියෙන් ඉවත් වූහ. සංගක්කාර තුවාළ ලබා ඊයේ පිටියෙන් ඉවතට ගිය අතර ප්‍රසන්න හා වෙලගෙදර තුවාළ ලබා පෙරේදා තරග බිමෙන් ඉවත්ව ගියහ.

තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු 16කට කඩුලු 2ක්ද, පළමු ඉනිමේ ලකුණු 63කට කඩුලු 4ක්ද ලබා ගෙන පිත්තෙන්ද දස්කම් දැක්වූ මිචල් ජොන්සන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

ඊයේ තෙවැනි දින තරගය ආරම්භ වී ඕවර 5යි පන්දු 4ක් ඇතුළත ඔස්ට්‍රේලියා ඉනිම ලකුණු 460කට අවසන් විය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාව ට වඩා ලකුණු 304ක් පළමු ඉනිමේ ඉදිරියෙන් සිටියේය. පොද වැස්ස හේතුවෙන් ඊයේ තෙවැනි දින තරගය ආරම්භ වූයේ මිනිත්තු 15ක පමාවකින් පසුවය. පෙර දිනයේ කඩුලු 8 ට මුළු ලකුණු 440 සිට ඊයේ තරගය ඇරැඹූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ 9 වැනි කඩුල්ල ඊයේ යැවුනු තෙවැනි ඕවරයේදී බිඳ වැටිණි. නේදන් ලයන් (1), ඇන්ජලෝ මැතිව්ස් ගේ පන්දුවට ‘මිඩ් විකට්’ හි පන්දු රකිමින් සිටි දිනේෂ් චන්දිමාල් (අතිරේක ක්‍රීඩක) වෙත උඩ පන්දුවක් දෙමින් මුළු ලකුණු 451 දී දැවී ගියේය.

ජැක්සන් බර්ඩ් (0), ශමින්ද එරංගගේ පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර තමාගේ අනෙක් අන්තයෙන් අවසන් කඩුලු 2 බිඳ වැටීම නිසා මිචල් ජොන්සන් ට ඔහුගේ ශතකය ලබා ගැනීමට නොහැකි විය. අංක 8 පිතිකරු ලෙසින් පෙරේදා පිටියට පිවිසි ජොන්සන් මිනිත්තු 184ක කාලයක් කඩුල්ලේ රැඳී සිට අවසානයේ නොදැවී ලකුණු 92ක් (පන්දු 150, හතරේ පහර 7) වාර්තා කළේය.

එරංග ලකුණු 109කට කඩුලු 3ක්ද, ධම්මික ප්‍රසාද් ලකුණු 106කට කඩුලු 3ක්ද, මැතිව්ස් ලකුණු 60කට කඩුලු 2ක්ද ලබා ගත්හ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ දී ජොන්සන් ගේ දැඩි ආක්‍රමණශීලී වේග පන්දු ප්‍රහාරයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිදුවිණි. ඉනිමේ පළමු ඕවරයේදීම පිට පිට කඩුලු දෙකක් බිඳ වැටුනේ විසි දහසකට වැඩි නරඹන්නන් අතර සිටි ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් ඉමහත් කලකිරීමට පත් කරමිණි.

දෙවැනි ඉනිමේ තෙවැනි පන්දුව යැවූ මිචල් ජොන්සන් ට දිමුත් කරුණාරත්න (1) පිට ඉන්න පෙදෙසට පහරක් එල්ල කළේය. කරුණාරත්න හා තිලකරත්න ඩිල්ෂාන් පළමු ලකුණ කරා දිව ගියහ. දෙවැනි ලකුණ කරා යාමට හැරුණද එය වෙනස් කර ගත්හ. මේ නිසා පන්දු යවන්නාගේ අන්තයට ආපසු දිව යාමට කරුණාරත්න ට සිදුවිය. මේ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ ‘කවර්ස්’ හි පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් පන්දුව ජොන්සන් වෙත වීසි කළේය. පන්දුව අල්ලා ගත් ජොන්සන් කඩුල්ල දෙසට කඩා පැන්නේය.

ජොන්සන්ගේ ඊළඟ පන්දුව තිලකරත්න ඩිල්ෂාන්ගේ ශරීරය ට ම ආවේ විදුලි වේගයෙනි. එය පසෙකට හැරවීමට ඔහු උත්සාහ ගත්තද පන්දුව පිත්තේ අග වැදී ‘ෂෝට් ලෙග්’ ස්ථානයට ඉපිළ ගිය අතර එඩ් කොවන් දුව ගොස් එය රැක ගත්තේය. ඩිල්ෂාන් ලකුණු නොලබාම ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

දෙවැනි ඕවරයේ අවසන් පන්දුවෙන් නායක මහේල ජයවර්ධන දැවී ගියේද බින්දුවකටය. එම කඩුල්ල ලබා ගත්තේ සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින ජැක්සන් බර්ඩ් ය. ඔහුගේ පන්දුව පිට ඉන්නට යාන්තමින් එපිටින් පතිත වී කඩුල්ල දෙසට හැරිණි. මහේල පන්දුව තමන් පසුකර යාමට සලස්වා අන්තිම තත්පරයේ පිත්ත ඇල කළද එය අනුවණ තීරණයක් විය. පන්දුව පිත්තේ අග ගෑවී කඩුල්ලේ ගැටුනේය. පන්දුවට පිත්ත නොදමා සිටීමට මහේල ප්‍රමාද වූවා වැඩි විය.

හයවැනි ඕවරයේදී තිලාන් සමරවීර (1), බර්ඩ් ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මුළු ලකුණු 13දී දැවී ගියේය. නයිජල් ලෝන්ග් පිටියේ තරග විනිසුරුගේ එම තීරණයට එරෙහිව සමරවීර අභියෝග කළද තෙවැනි විනිසුරුගේ තීරණයද එය ම විය. මේ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාවේ කඩුලු 4ක් ලකුණු 43කට බිඳ වැටී තිබිණි. බර්ඩ් ලකුණු 29කට කඩුලු 2ක් ලබා ගත්තේය.

දිවා ආහාරයෙන් පසුව යැවුනු පළමු ඕවරයේ බර්ඩ් ගේ තෙවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්ස් දුන් උඩ පන්දුව ‘ගලී’ හි පන්දු රකිමින් සිටි ෂේන් වොට්සන් අතින් ගිලිහිණි. ඒ වන විට මැතිව්ස් ලකුණු 19ක් ලබා ගෙන සිටියේය.

මුළු ලකුණු ප්‍රමාණය 62ක්ව තිබියදී ජොන්සන් ගේ පන්දුව වමතේ ඇඟිල්ලක වැදී ලත් තුවාල සහිතව සංගක්කාර පිටියෙන් ඉවත් විය. ඒ වන විට ඔහු පන්දු 43කට මුහුණ දී හතරේ පහර 4ක් සමග ලකුණු 27ක් රැස්කර ගෙන සිටියේය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට තුවාල කිරීම ජොන්සන් එතැනින් නතර කළේ නැත. ඔහුගේ ඊළඟ ඕවරයේදී පන්දුව ධම්මික ප්‍රසාද් ගේ අතක ඇඟිල්ලේ වැදීමෙන් ධම්මික ට පිටියේදී ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය. ඉන්පසුව මැතිව්ස් එම ඕවරයේදීම දැවී ගියේය. ජොන්සන් ගේ පන්දුවට ‘පුල්’ පහරක් එල්ල කිරීමට යාමේදී එම උත්සාහය අවසන් වූයේ මැතිව්ස් විසින් පන්දුව කඩුල්ල වෙතට ඇද ගැනීමෙනි. පන්දු 48කට මුහුණ දුන් මැතිව්ස් හතරේ පහර 5ක් සමග ලකුණු 35ක් වාර්තා කළේය.

24 වැනි ඕවරයේදී ප්‍රසාද්, දඟ පන්දු යවන නේදන් ලයන් ට පිට පිට හයේ පහර දෙකක් එල්ල කොට ඊළඟ පන්දුවේදී ‘කවර්ස්’ හි පන්දු රකිමින් සිටි ඩේවිඩ් වෝනර් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ඊළඟ ඕවරයේ ශමින්ද එරංග, පීටර් සිඩ්ල් ගේ පන්දුවට ‘ෂෝට් ලෙග්’ හි එඩ් කොවන් වෙත උඩ පන්දුවක් දීමත් සමග ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අති දුර්වල ම පරාජයක් වාර්තා පොතට එක්විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all