Photobucket

Saturday, December 29, 2012

ජලාශවල වාන් දොරටු විවර කරයි

කුඩා වැව් වාන් දමා නිවාස යටවෙයි

රාජාංගනය,ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් පුත්තලම දිස්ත්‍රික්කයේ ලොකු කුඩා වැව් සියල්ල වාන් දැමීමට පටන් ගෙන ඇත. ඒ සමඟම මාර්ග කීපයක් ජලයෙන් යටවී නිවාස රැසක්ද ජලයෙන් යටවී ඇත.

28 වැනිදා දහවල් වන විට රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 08 බැගින් විවෘත කර ඇත. එම ජලය කලාඔයට මුදා හැරීම හේතුවෙන් කලාඔය අවට පදිංචි පවුල් රැසක් පීඩාවට පත්වී ඇත.විශේෂයෙන්ම එළුවන්කුලම අවට පදිංචි පවුල් රැසක්ම ජලයෙන් යටවී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කියයි.

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 03 බැගින්ද, වාන් දොරටු 02 ක් අඩි 02 බැගින්ද විවෘත කර ඇත.ඉන් තත්ත්පරයට ජලය ඝණ අඩි 9280 ක් මීඔයට මුදා හරින බව ඉඟිනිමිටිය වාරි මාර්ග කාර්යාලය අප කරන ලද විමසුමකදී පැවසීය.

මේ අතර තබ්බෝව ජලාශයේ වාන් දොරටු 14 ක් අඩි 1 යි අඟල් 1 ½ බැගින් විවෘත කර ඇත.එහිදී තත්ත්පරයට ජලය ඝණ අඩි 4424 ක් මීඔයට මුදා හැරෙන බව පුත්තලම වාරි මාර්ග කලාප කාර්යාලයේ ප්‍රදාන ඉංජිනේරු ටී. ඩී. විජේසුරිය මහතා පැවසීය. මේ අතර රතඹලාඔය පිටාර ගැලීම හේතුවෙන් හලාවත , ආණමඩුව මාර්ගයේ ගමනාගමනයට සේරුකැලේ ප්‍රදේශයේදී බාධා ඇති විය.

එම ස්ථානයෙන් සැහැල්ලු වාහන ගමනා ගමනය කළ නොහැක. විජයකටුපත වැව වාන් දැමීම හේතුවෙන් කීරියන්කල්ලිය , අඩිගම මාර්ගයද‍ බත්තුළුඔය , විල්පත මාර්ගයද ජලයෙන් යටවී ඇත. ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල නිවාස රැසක්ද ජලයෙන් යටවි ඇත. කුරුණෑගල සහ ඒ අවට ප්‍රදේශවලට තවමත් වැසි ලැබෙමින් පවතින නිසා දැදුරුඔයේ ජල මට්ටමද ඉහළ යමින් තිබේ.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all