Photobucket

Sunday, December 2, 2012

අගවිනිසුරුවරියගේ බැංකු කටයුතු ගැටලු සහගතයි

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ බැංකු ගනුදෙනු හා ඉතා කෙටි කාලයක් තුළ එම ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම් හා ආපසු ගැනීම් ද සෑම වසරකම මාර්තු 31 හෝ දෙසැම්බර් 31 වන විට ගිණුම් ශේෂය ශූන්‍ය කිරීම් ගැන අවධානය යොමු කරන මූල්‍ය විශේෂඥයෝ ඒවා මහත් ආන්දෝලනයට තුඩු දෙන සිද්ධීන් බව පෙන්වා දෙති. මේවා රටක අගවිනිසුරු තනතුර හොබවන අයකු විසින් නොකළ යුතු ක්‍රියාදාමයන් බව ඔවුහු පෙන්වා දෙති. 
ජාතික සංවර්ධන බැංකුවේ ගිණුම් අංක 101110002058 යටතේ 2007/2008 වසරේ කිහිප වතාවක්ම මුදල් බැර කොට යළි තැන්පතුවලින් මුදල් ලබාගෙන 2008 මාර්තු 31 දින වන විට එය ශූන්‍ය ගිණුමක් බවට පත් කොට ඇති අතර ඒ ගිණුම එසේම තිබෙන්නට හැර 2008 මැයි 6 දා එයට රු. 519,534.55 බැර කොට ඉන්පසු එම ගිණුමෙන් 22 වරක් මුදල් බැර කොට එය රු.31,860,754.47 දක්වා වැඩි වූ පසුව 41 වතාවකට එම මුදල් සියල්ල 2009 පෙබරවාරි 3 වැනි දින වන විට හර කොට ඇත.

ඒ හේතුවෙන් 2009 මාර්තු 31 වන විට එම ගිණුම ශූන්‍ය වී තිබේ. බණ්ඩාරනායක මහත්මිය එවැනි ගිණුමක් තිබූ බවක් වත්කම් බැරකම් ප්‍රකාශනයේ හෙළිදරව් කැර නැත.

එම ගිණුමට මුදල් වරින් වර බැර කරමින් හා හර කරමින් එම ගිණුම ශූන්‍ය කරමින් පවත්වාගෙන ගිය බව ඇගේ වත්කම් හා බැරකම් පත්‍රයේ සඳහන් නොකිරීමෙන් අග්‍රවිනිශ්චයකාර තනතුර වැනි වගකිවයුතු තනතුරක් දරන අයකු නොකළ යුතු වරදක් සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.

මෙවැනි සැක කටයුතු ගිණුම් කිහිපයක් ඇය විසින් පවත්වාගෙන ගොස් ඇති අතර ඒවා ගැන හෙළිදරව් නොකිරීම තවත් වරදකි.

එම ගිණුම 2009 ජූලි 3දා දක්වා ශූන්‍ය වී පැවැති අතර යළිත් එදිනම එයට රු. 500,000.00 මුදලක් බැර කොට ඇත. ඉන්පසු 2010 ජනවාරි 13 දින වන තුරු මේ ගිණුම ක්‍රියාත්මක වී පැවැති අතර එය රු. 15,508,794.63 දක්වා වැඩි වී ඇත්තේ මුදල් තැන්පත් කිරීමේ හේතුවෙනි. යළිත් 18 වාරයකදී රු. 15,508,794.63 මුදල හරකොට ඇති බව ගිණුමේ වාර්තාවේ දැක්වෙයි.

2010 ජනවාරි 13 දින වන විට එම ගිණුම යළිත් ශූන්‍ය වෙයි. බණ්ඩාරනායක මහත්මිය මේ පිළිබඳවද 2010 මාර්තු 31 වැනිදා සිය ගිණුම් ප්‍රකාශනයේ සඳහන් කොට නැත.

2010 අප්‍රේල් 7 වැනිදා වනතුරු එම ගිණුම ක්‍රියාත්මක 2010 අප්‍රේල් 7 වැනි දින එයට රුපියල් 910,473.22 තැන්පත් වෙයි. එය යළිත් බැර 27කින් 57,488454.95 දක්වා වැඩි වෙයි. එම මුදල 2011 පෙබරවාරි 18 දින දක්වා පවතියි. අනතුරුව එම ගිණුමේ තිබූ රු. 2,057,098.56 මුදල මුළුමනින්ම ආපසු ගත් පසුව ගිණුමේ ශේෂය බින්දුවට අඩුවී තිබේ.

2011 මාර්තු 31 දින මේ ශූන්‍ය ගනුදෙනුව පිළිබඳව ඇය තම ගිණුම් ප්‍රකාශයේ සඳහන් කොට නැත. මේ ගිණුම යළිත් ක්‍රියාත්මක නොවී 2011 මැයි මස 5 දක්වා පවත්වාගෙන ගොස් ඇත. අනතුරුව නිති සිදු කෙරෙන පරිදි එදින ගිණුමට රු. 974,280.39ක් බැර කොට ඇත. මෙය 2012 මාර්තු 30 දක්වා ක්‍රියාත්මක වෙයි. 2012 මාර්තු 30 වන විට රුපියල් 256,416,639.42ක් බැර 88 කින් ගිණුමට බැරවී හර 171 කින් රු. 256,416,639.42 මාර්තු 30 දා ගිණුමෙන් ආපසු ගෙන ශූන්‍ය වෙයි.

මේ සියල්ල 2012 මාර්තු 31 දින ඇගේ වත්කම් ප්‍රකාශයේ සඳහන් නොවේ.

යළිත් රු. 10,047,779.95ක් එම ගිණුමට බැරවන්නේ 2012 අප්‍රේල් 5 දාය.

මෙවැනි ක්‍රියා පිළිබඳව සලකා බලන කළ මුදල් ගනුදෙනුවලදීත් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකගේ මුදල් ගනුදෙනු අතිශය මතභේදයකට තුඩු දෙන බව පරිණත විශේෂඥයන්ගේ මතය වී ඇත. 

සිළුමිණ ඇසුරින් පලකරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all