Photobucket

Sunday, December 2, 2012

ආරූඪයක්‌ නිසා මරු වසඟයට ගිය අමන්දා

වෙසමුනි වරම් ගත් යකැදුරන්ගෙන්වන විපත්!

විද්‍යාව සහ මිථ්‍යාව යනු එක ළඟින් ගමන් කරන වදන් දෙකකි. විද්‍යාව යනු පලයක්‌ ඇත්නම් හේතුවක්‌ද ඇත යන පදනමෙහි පිහිටිය සත්‍යයකි. රෝගයකට හේතුවක්‌ තිබිය යුතුමය. වෛද්‍ය විද්‍යාව ඒ හේතුන් පසු පස්‌සේ ගොස්‌ හේතුන් සොයා ගෙන පිළියම් කරයි. රෝගයට හේතුව වෛරසයක්‌ නම් එය නසන ප්‍රතිජීවක දීමෙන් රෝගය නැසිය හැක.

ගින්නට ඇද දැමූ තරුණිය - නිරෝෂා කුමාරිගේ දේවාල භූමිය  - අමන්දා

මිථ්‍යාව එසේ නොවේ. මිථ්‍යාව තර්ක ඥනයට හසුවන්නේ නැත. එය විශ්වාසය මත ර¹ පවතී. එම විශ්වාසයන් අද්භූත ඒවා විය හැක. දේව විශ්වාසයන්, ප්‍රේත යක්‌ෂ ආදී වශයෙන් විය හැක.

යම් අසනීපයක්‌ රෝගා බාධයක්‌ වූ කල්හි ඖෂධ සොයා යැම වෙනුවට දේවාල, පල්ලි ඔස්‌සේ යමින් යකැදුරන්, භූතයින්, ආරූඪකරුවන්, පේන කරුවන්, අංජනංකරුවන් පසු පස්‌සේ යති. එය නූගත් පිරිස පමණක්‌ නොව ඇතැම් උගතුන් විසින්ද කරනු ලැබේ.

සමහරු සිය සිරුරට යක්‌ෂයින්, භූතයින් ඇතුළු වී සිටීයෑයි විශ්වාස කරති. සැබැවින්ම මේවා මානසික රෝග මිස දෙවියන්ට, යක්‌ෂයන්ට භාර දිය යුතු රෝග නොවේ.

මෙය සෝබර කතාවකි. අකාලයේ අනවශ්‍ය ලෙස ජීවිත දෙකක්‌ මිථ්‍යාව විසින් බිලිගත් කෲර බිහිසුණු කතාවකි. එමෙන්ම මෙය සෑම කෙනකුම දැන සිටිය යුතු කතාවකි. මේ ශෝකී කතාන්දරය වාර්තාවන්නේ දෙහිඅත්තකණ්‌ඩිය කදිරපුර ගම්මානයෙනි. මෙගමෙහි පදිංචිව හුන් ප්‍රදීප් බණ්‌ඩාර සහ නිරෝෂා කුමාරි යුවළ තරුණ වියෙහි යුවළකි.

හිටි හැටියේ මේ යුවළගෙන් බිරිඳ නිරෝෂා කුමාරිට ආරූඪයක්‌ ආවේශ වී ඇත. ආරූඪය යනු අත්පා දරදඬු වී සාමාන්‍ය සිහිය විකෘති වී නන් දෙඩවීමය. දෙඩවීමේදී ඇගේ කතා විලාසය වෙනස්‌ වන අතර භාෂාව දෙමළ බසට ළංවේ.

නොබෝ දිනකින් මේ ආරූඪ ගතිය ඇගේ සැමියාටද බෝවිය. දැන් දෙදෙනාම ආරූඪයෙන් කියවන්නෝ බවට පත්ව සිටිති.

ආරූඪ වන්නන් කෙරෙහි ගැමියෝ බොහෝ භය පක්‌ෂ වෙති. මක්‌ නිසාද ආරූඪය යනු යම් අමනුෂ්‍යයකුගෙන් ලැබෙන දෙයක්‌ වීම නිසාය. මිථ්‍යා විශ්වාසයන් කෙරෙහි එල්බුණු අහල පහල ගැමියන් තම තමන්ගේ විවිධ කම් කටොලුවලට සහන පතා ආවේ මේ යුවළ වෙතය. ඔවුන් දෙදෙන ගැමියන්ට ශාන්ති කර්ම කළහ.

නමුත් ආරූඪය ඉවත් කර ගැනීමේ වුවමනාවක්‌ද මේ යුවළට තිබිණි. ඒ සඳහා ඔවුන් දෙදෙන බොහෝ යකැදුරන් වෙත ගොස්‌ මිල මුදල් වැය කොට ශාන්තිකර්ම, පුද පූජා කර ගෙන තිබිණි. එහෙත් පලක්‌ නොවීය.

අන්තිමේදී ඔවුන් වැල්ලවායේ "ගුරු මෑණි" කෙනකු සිය නිවෙසට ගෙන්වා ගත්තේ ආරූඪය ඉවත් කර ගැනීමටය.

රාත්‍රියේ ඔවුන්ගේ නිවසේ මහා යාගයකි. වැල්ලවායෙන් පැමිණි මෑණියෝ සහ කට්‌ටඩියා දුම්මල ගසමින් තොවිලයක්‌ නටා අවසන්කොට පිටත්ව ගියහ.

නමුත් ආරූඪය බැහැර ගොස්‌ තිබුණේ නැත. රාත්‍රී දෙක පසු වෙද්දී ප්‍රදීප් සහ නිරෝෂා යුවළ යළි ආරූඪ වූහ. අසල්වැසි නිවෙස්‌වල අය යළි දිව ආහ.

අමන්දා ප්‍රභාෂ්වරී නව යොවුන් තරුණියකි. ඈ සිටියේද ආරූඪකරුවන්ගේ නිවෙස අසලය. ඇගේ පියා නැත. මව එතෙර රටක රැකියාවකය. ඈ සිටියේ මිත්තණිය සමගය. ඇය නිතර ආරූඪකාර යුවළගේ නිවසට ආගිය යුවතියකි.

මිත්තණියගේ විශ්වාසය වූයේ අමන්දා ප්‍රභාෂ්වරී හෙවත් තම මිණිබිරියටත් කිසියම් අමනුෂ්‍ය දෝෂයක්‌ ඇති බවය.

"අනේ මේ කෙල්ලගෙ ඇඟේ තියෙන දෝසෙත් අහක්‌ කරල දෙන්න"

මිත්තණිය ආරූඪ යුවළගෙන් ඉල්ලා සිටියාය. ආරූඪව සිටි නිරෝෂා කුමාරි අමන්දා දේවාලය ඇතුළට ගත්තාය. ඒ අමන්දාගේ අමනුෂ්‍ය දෝෂය ඉවත් කරනු පිණිසය.

මේ කතාන්දරයේ බිහිසුණු රංගනය නිරූපණය වන්නේ මෙතැන් සිටය.

"මොකක්‌ද නම"

වෙව්ලමින් සිටි ආරූඪ කාරිය ඇසුවාය.

"අමන්දා ප්‍රභාෂ්වරී"

තැතිගත් යුවතිය සෙමින් කොඳුලාය.

"හොඳයි තමන් ලෙඩ දුක්‌ සුවපත් යෑයි හිතාගන්න." දේවාලයේ කඩ තිරය විවෘත විය. ආරූඪකාර යුවළ නොතේරෙන භාෂාවකින් යාතිකා කරමින් පරල වන්නට වූහ. එසේ යාතිකා කරන අතරේ ආරූඪකාරිය පිහියක්‌ අතට ගත්තාය.

අනතුරුව අමන්දා වෙතට ළංවූ ආරූඪකාරිය අමන්දාගේ හිසෙන් අල්ලාගෙන තියුණු මුවහත් පිහිය ඇගේ මුඛය තුළට ගිල් වූවාය. එය උගුර තෙක්‌ කිඳා බැසිණි. අමන්දා එසැණින් පොළොව මත ඇද වැටුණි.

මේ විනාශය දුටු සෙස්‌සෝ වහා අමන්දා රෝහලට ගෙන ගියහ. නමුත් යන අතරමගදීම 15 හැවිරිදි යුවතිය මරු වැළඳ ගත්තාය.

ආරූඪ යුවළ එතෙකින් නැවතුණේ නැත. තොවිලය බලන්නට ආ කුඩා දැරියක්‌ මිදුලේ සිටියාය. ආරූඪයෙන් සිටි ප්‍රදීප් දැරියගේ කොණ්‌ඩයෙන් අල්ලා ගිනි ගොඩට තල්ලු කළාය. දැරිය බරපතළ ලෙස පිලිස්‌සුම් තුවාල ලැබුවාය.

ගම්මු 119 ට කතා කොට පොලිසියට දැන්වූයේ ඉන් පසුවය. බරපතළ ලෙස පිළිස්‌සුණු දෙහැවිරිදි දැරිය පළමුව පොලොන්නරුව මහ රෝහලටත් ඉන් අනතුරුව කොළඹ රිඡ්වේ ළමා රෝහලටත් මාරු කොට යවා ඇත.

පොලිසිය පැමිණ ආරූඪ යුවළ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුවීම නිමාවට පත්විය. නමුත් පොලිස්‌ රිමාන්ඩ් භාරයේ සිටියදීත් යුවළ සිටියේ ආරූඪ තත්aත්වයෙනි.

මිථ්‍යා විශ්වාසයක කෙළවර වූයේ 15 හැවිරිදි යුවතියක නිකරුණේ බිහිසුණු අයුරින් මිය යැමත් අහිංසක දෙහැවිරිදි දැරියක්‌ බරපතළ ලෙස පිලිස්‌සුම් තුවාල ලැබීමෙනුත්ය.

සාමාන්‍ය සිහි බුද්ධියෙන් සිටින කල්හි මේ "ආරූඪ යුවළ" ඉතා හොඳ බව ගමේ මිනිස්‌සු කියති.

එසේ නම් සිදු වූයේ කුමක්‌ද? ආරූඪය යනු සොභාවික සිහියේ විකෘතියකි. දුර්වල මානසිකත්වයෙන් හෙබි අය ඉතාම ඉක්‌මනින් යකුන්ට භූතයන්ට බියවෙති. ඒ සමගම තමන්ගේ සිරුරට යකෙක්‌, ප්‍රේතයෙක්‌, භූතයෙක්‌ අරක්‌ ගෙන ඇතැයි සිතති. එම භූතයා යක්‌ෂයා තමන්ට අමුතු ශක්‌තියක්‌ ලබා දෙන්නේ යෑයි ඔවුහු සිතති.

මේසා බිහිසුණු අපරාධයකට යොමුව ඇත්තේ ඒ අද්භූත ශක්‌තියේ බලයෙන් විය යුතුය.

දුර්වල මිනිස්‌ මනසට ප්‍රේතයන්ට, යක්‌ෂයන්ට රිංගිය හැක. මෙතැන සිදුවී ඇත්තේද එය විය නොහැකිද?

වැල්ලවායෙන් පැමිණි කට්‌ටඩියන් මේ යුවළගේ ආරූඪය ඉවත් කළා නම් එදිනම එළිවන යාමයේ ඔවුන් නැවත ආරූඪ වූයේ ඇයි?

ආරූඪය යනු මානසික ව්‍යාධියකි. මානසික ව්‍යාධීන්ට පිළියම් කරනුයේ මානසික වෛද්‍යවරුන් විසිනි. නමුත් ගැමියාට මානසික වෛද්‍යවරයාට වඩා පහසුවෙන් මුණගැසිය හැක්‌කේ ගමේ කට්‌ටඩියාය. යකැදුරාය. ආරූඪයෙන් ශාස්‌ත්‍ර කියන්නාය.

15 හැවිරිදි අමන්දා කෲර මරණයකට පාත්‍ර වූයේ සැඟවුණු බලයක්‌ ඇතැයි විශ්වාස කළ ආරූඪකාරියක විසිනි.

මේ අයුරින් බලන විට මිථ්‍යාව අහිංසක නැත. මේ අයුරින් මිථ්‍යා දෘෂ්ටික යකැදුරන් අතින් මීට පෙරද කුඩා දරුවෝ ගැහැනු දරුවෝ මරු මුව වැටුණාහ.

ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී අඹන්පොලදී යාල් දේවි දුම්රියෙහි ගැටී 6 දෙනෙක්‌ මිය ගියහ. ඔවුන් ගොස්‌ තිබුණේ දේවාලයක පූජාවක්‌ පිණිසය. එහෙත් දෙවියන් ඔවුන් බේරා තිබුණේ නැත.

පසුබිම් වාර්තාව
දෙහිඅත්තකණ්‌ඩිය රණතුංග
සකස්‌ කළේ
චන්ද්‍රසිරි දොඩන්ගොඩ
දිවයින ඇසුරින් පලකරන ලදී. 

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all