Photobucket

Monday, December 24, 2012

නයින්ගේ කඳුළු කතාව බොරු

‘නයි’ අපේ සංස්කෘතියත් සමඟ විශාල බැඳීමක් ඇති සර්ප විශේෂයකි. මුචලින්ද නාගරාජයා, බුද්ධදාස රජු වෙදකම් කළ නාගයා, විෂ්ණු දෙවියන්ගේ උරෙහි සිටින නාගයින්, නාග ගොත්‍රිකයින්, නාග ගුරුලු හා නාග රාක්ෂ නැටුම් ආදිය මෙන් ම නාගීනා වැනි හින්දි චිත්‍රපට වලින් ද අපට නයින් පිළිබඳ වෙනත් සර්පයින්ට නැති හැඟීමක් ලබා දී තිබේ. ඒ නිසා ම නයකු ගෙයක් අසළට ආවද “අනේ නයි හාමි අපට කරදර නොකර යන්න” කියා මිනිසකුට මෙන් ආමන්ත්‍රණය කිරීමට අපි පුරුදු වී සිටිමු. 

එමෙන් ම ලෝකයේ විවිධ රටවල සර්පයන් කබරගොයින්, තලගොයින්, කටුස්සන්, කිඹුලන්, ඉබ්බන්, දිවිමකුළුවන්, වැනි සතුන් සුරතලයට ඇති කරන විවිධ රුචිකම් දක්වන සත්ත්ව ලෝලීන් ද සිටින බව වාර්තා ඕනෑ තරම් ය. ඉන් ඓතිහාසික වාර්තාවන් වන්නේ ක්ලියෝ පැට්රා නම් රැජන ඉතා විසකුරු සර්පයකු සුරතලයට ඇති දැඩි කොට උගේ විෂ ශරීරගත කරගෙන මිය යෑමයි.

මේ සියල්ල සමඟ අද අපේ රටේ ඉතා ජනප්‍රිය මාතෘකාවක් වී ඇත්තේ නයා කැටුව යන නළඟන ය. විවිධ මාධ්‍යවල ප්‍රචාරය වන ආකාරයට වරෙක ඇය අහිංසකාවියකි. තවත් වරෙක ඇය අසත්‍ය පවසන බවට ද චෝදනා මතු වී ඇත. මිනිස්සු තමන්ගේ පැවැත්ම උදෙසා යම් යම් දේ කරති. අපට වැදගත් වන්නේ එවැනි එක් පුද්ගලයකු තම පැවැත්ම උදෙසා කරන කියන දෑ නොව එවැනි දේ නිසා අසරණ වන සතුන් පිළිබඳ වපුරන අදහස් කෙතරම් දුරට සමාජයේ මතිමතාන්තර ඇති කිරීමට හේතුවේ ද යන්න ය. 

ඒ නිසා ම ඇය මාධ්‍යවලට කළ ඇතැම් ප්‍රකාශ වල ජීව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක සත්‍ය සෙවීමට අප කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය දේවක වීරකෝන්, ලෝක සංරක්ෂණ සංගමයේ උරග හා උභයජීවි සංගමයේ මෙන් ම කිඹුල් සංගමයේ දකුණු ආසියානු හා ඉරාන සභාපති ඇනස්ලම් ද සිල්වා දෙහිවල සත්ත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත්, එහි උරග උයන අධීක්ෂණ නිලධාරි ප්‍රේමසිරි පීරිස්, සායනික මෝහන වෛද්‍ය දමිත් හෙට්ටිආරච්චි සහ මුල්ලේරියාව මානසික රෝහලේ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර ගාම්භීර යන මහත්වරුන් ගෙන් කරුණු විමසුවෙමු.

“ඔබ කැමැති ඉබ්බෙකු හදන්නද බල්ලකු හදන්නද? මේ ප්‍රශ්නයට වැඩිදෙනා දෙන පිළිතුර වන්නේ බල්ලකු කියා ය. හේතුව ඈත අතීතයේ පටන් සුනඛයා මිනිසාගේ සුහද මිතුරකු මෙන් ම ආරක්ෂකයකු ද ලෙස පිළිගැනීමයි. දඩයම් යුගයේ සිට වසර සිය දහස් ගණනක් පරිණාමය වූ සුනඛයන්ට ලොව වැඩි දෙනකු ආදරය කරන්නේ එයට බලු සුරතලුන් දක්වන ප්‍රතිචාර ඉතා ආකර්ෂණීය නිසා ය. එහෙත් ඉබ්බකුගේ ආදරය ඊට වැඩි වුවත් එය දැක ගැනීමට අපට ක්‍රමයක් නැත. නාගයකු පිළිබඳව ද කියන්නට ඇත්තේ එවැන්නකි. එහෙත් නයා කැටුව යන නළඟන මාධ්‍යයට පවසා ඇති ඇතැම් ප්‍රකාශ අනුව මේ පිළිබඳ කුකුසක් මතුවෙයි. “මාව දැක්ක ගමන් සුරතල් නයි පැටියාගේ ඇස්දෙකට කඳුළු ආවා” ඇයගේ මේ ප්‍රකාශයේ ජීව විද්‍යාත්මක සත්‍යය කුමක්ද? 

ඇත්තෙන් ම නයි අඬනවාද? “නයි හඬන්නේ නෑ. උන්ට කඳුළු ග්‍රන්ථි නෑ” අපේ පැනයට පිළිතුරු දුන්නේ උරගයන් පිළිබඳ පොත් 400 ට අධික සංඛ්‍යාවක් ලියා ඇති. ලෝක උරග සංගමයේත් උභයජීවී සංගමයේත් කිඹුල් විශේෂඥ කමිටුවේ දකුණු ආසියා හා ඉරාන සභාපති ධූර දරන ඇන්ස්ලම් ද සිල්වා මහතායි.

ඒ පැනයට ම කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය දේවක වීරකෝන් මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

“කාවය පිරිසිදුව තබාගැනීම, ක්ෂුද්‍රජීවීන් ඉවත් කිරීම, වියළීම නතර කිරීම ආදී අවශ්‍යතාවලට යම් ශ්‍රාවයක් ඕනම සතකුට තිබෙන්න පුළුවන්. නමුත් හැඟීම්වලට කඳුළු එනවා කියලා කතාවක් නම් උරගයින්ට නෑ. අලින්ට වුවත් අස්ථි කූපයට එන ශ්‍රාවය ලවණ ශ්‍රාවයක් ලෙස පිට වනවා මිසක අදහස් ප්‍රකාශ කරන්න කඳුළු උනනවාය කියා කීමට මෙතෙක් කිසිම සාධකයක් ඔප්පු වී නැහැ.”

“එතකොට නයි තමන්ගේ අම්මා තාත්තා හඳුනනවද?”

“සර්පයින් කිසිම මාතෘ ප්‍රේමයක් පෙන්වන්නේ නෑ. එවැනි සංකීර්ණ ක්‍රියාවලි පෙන්වන්නේ පරිණාමයේ ඉහළ මට්ටමේ සත්ත්ව කොට්ඨාසයි. සත්ත්ව ලෝකයේ සංකීර්ණත්වය වැඩි වන්නේ මත්ස්‍ය, උභයජීවී, උරග, පක්ෂි, ක්ෂීරපායි කියන පිළිවෙළටයි. පක්ෂීන් ක්ෂීරපායින් ආදී වනවිට චර්යාවන් සංකීර්ණ වනවා. පෙන්ගුවින් අම්මලාට, වවුල් අම්මලාට තම පැටව් විශාල ගණනක් මැද දි වුණත් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේ ම ක්ෂිරපායින් පැටවුන් හොඳින් රැක බලා ගන්නවා. නමුත් සර්පයින්ගේ එහෙම චර්යාවක් නෑ.” මහාචාර්ය වීරකෝන් පැහැදිලි කළේ එසේ ය.

එයට ම සාධක සැපයූ ඇන්ස්ලම් ද සිල්වා මහතා කරුණු පෙන්වා දුන්නේ මෙලෙසිනි.

“මම නයි 500 ක් පමණ ඇති කර තිබෙනවා. ඒ පැටව් බිත්තරවලින් එළියට එන්නේ දින 60 - 75 ක් පමණ ගත වුණාම. හැපින්න බිත්තර දමා යනවා. ඒවා මෝරලා පැටවුන් එළියට එන්නේ තනිවම. බිත්තර කටුව කඩා ගන්න නයින්ට එග්ටූත් කියලා පොඩි දතක් එනවා. එළියට ආ ගමන් ඒක හැලිලා යනවා. පැටව් සීසීකඩ යනවා. සමහර ලොකු නයි පැටවුන්ව ගිලිනවා. උන් ස්වයං භක්ෂකයෝ. ඔන්න කිඹුල්ලු නම් බිත්තර දාලා අම්මා ඒ අසළ ඉඳන් රැක බලා ගන්නවා. බිත්තර මෝරලා උන් එළියට එන්න හඬක් නිකුත් කරනවා. කිඹුල් පැටවුන්ට නයින්ට වගේ එග් ටූත් එකක් නෑ. ඉතිං අම්මා ඒ හඬ එන බිත්තර කටින් යන්තම් පොඩි කරලා වතුරට තියලා පැටව් එළියට ගන්නවා. සුමාන ගණනක් ඒ පැටවුන්ව රැක බලා ගන්නවා. ඒ චර්යාවන් දෙක වෙනස්” ඒ නිසා නයෙක් අම්මාව හෝ පැටවාව හඳුනා ගන්නේ නෑ.”

එයට දෙහිවල සත්ත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරි නිහාල් සෙනරත් මහතාගේ පිළිතුර මෙසේ විය.
“ඉන්දියාවේ කිං කෝබ්‍රා හෙවත් රාජ නාගයා හැරුණු කොට කිසිම නයෙක් බිත්තර රකින බවට වාර්තා වෙලා නෑ.”

ඔවුන් තිදෙනාම පොදුවේ නාගයන් ගැන කීවේ මෙසේයි.

නයෙකු සාමාන්‍යයෙන් හදිසි අනතුරක් නොවුණහොත් වසර 15 ත් 20 ත් අතර කාලයක් ජීවත් වේ. උන්ට තමන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය තරමට මොළයක් දැනුමක් ඇතත් එය භාෂාව තේරුම් ගැනීමට හෝ ළඟට අඬ ගැසූ විට එන්නට තරම් වූවක් නොවේ. කිසිම සර්පයකුට කන් නොපිහිටයි. ඒ නිසා ඇසෙන්නේ නැත. නයාගේ දිව දෙකට බෙදී තිබීමෙන් වර්ග ඵලය වැඩි වී සංවේදී බවට වැඩි ඉඩක් ලබා දී ඇත. ඒ ඉව උඩුතල්ලේ ඇති ජාකොබ්සන් ග්‍රන්ථිය මගින් හඳුනා ගනී. එයින් තම සතුරන් ආදී නොයෙක් දේ හඳුනා ගැනීමට නයාට හැකියි. 

ස්පර්ෂය පිළිබඳව උන්ට හොඳ දැනීමක් ඇත. ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසන පරිදි ඕනෑම සර්පයකුට තම සමේ කිති ගතියක් පවතී. නමුත් ඒ තත්ත්වය හඳුනාගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව සර්පයකු ඇල්ලූ විට එයට පුරුදු වීම පහසු කාර්යයකි. එසේ ම සර්පයා ද ඒ ස්පර්ශයට කලක් යද්දී හුරු පුරුදුවේ. විශේෂයෙන් සර්පයාට නොරිදෙන පරිදි මෘදු ලෙස අල්ලා ගැනීමට හැකි නම් ඌගෙන් අනතුරක් නැත. නිහාල් සෙනරත් මහතා පවසන්නේ නාගයින් වැනි විෂ දළ සහිත සර්පයින්ගේ දළ ගැල වූ විට උන් අන්ත අසරණ වන බවයි. 

එවිට ගොදුරුවලට දෂ්ට කර අඩපණ කළ නොහැකි නිසා ආහාර කැවීමට සිදුවෙයි. එසේ ම අසරණ වූ සර්පයින් ඕනෑම කෙනකුට බියකින් තොරව ඇල්ලීමට ද හැකි ය. නමුත් දළ කැඩූ නයකු වුව ද මිනිසකුට මාරාන්තික විය හැකි ය. එයට හේතුව නයකු සපා කාගෙන සිටිනා විට විෂ කෝෂවලින් එන විෂ මිනිසාගේ රුධිරයට එකතු වීමයි. එනිසා සර්පයින් සුරතල් සතුන් ලෙස ඇති කිරීම මරණයට අත වැනීමක් හා සමාන විය හැකි ය. සෙනරත් මහතා එය විස්තර කළේ මෙසේ ය.

“ලෝකයේ සර්ප විශේෂ 3000 ක් පමණ අතරින් සියයට 10 ක් ම දෂ්ඨ කර නිවැරැදි ප්‍රතිකාර නොලැබුණහොත් මාරාන්තිකයි. උග්‍ර විෂ සර්පයින් හීලෑ කිරීමට නොහැකි වුවත් සුළු විෂ සහිත සතුන් හා විෂ රහිත සතුන් හීලෑ කළ හැකියි. එවැනි විෂ ග්‍රන්ථ නැති සතුන් ලෙස පිඹුරා, කටකළුවා වැනි සර්පයනුත් සුළු විෂ සහිත ගණයට මාපිලුන් ඇහැටුල්ලන් වැනි අයත් ඇතුළත්. නමුත් නාගයින් කියන්නේ උග්‍ර විෂ සහිත සර්ප විශේෂයක්. එනිසා එවැනි සර්පයින් ස්වාභාවික තත්ත්ව යටතේ ඇති කිරීම මාරාන්තික විය හැකියි. නමුත් සමහර රටවල නයින් සමඟ ගැවසෙන සමහරුන් නාගතලා, නාගවරා, අඳුකොළ වැනි දේත්, හැලෝපේන්, කැටමිත් වැනි සංයෝග අඩංගු රසායන ද්‍රව්‍යත්, කසාය, තෙල් ආදී ද්‍රව්‍යත් මගින් නාගයා දැපණ දැමීමෙන් නිද්‍රාශීලීගතියක් මතු කරගෙන උන් ආං බාං කරගැනීමට හැර ස්වභාවික තත්ත්ව යටතේ සර්පයකු අල්ලාගෙන සිටීමට නොහැකි බවයි.

මහාචාර්ය දේවක වීරකෝන් පවසන්නේ ක්ෂීරපායි සතකුගේ හැඟීම් ඇස් දිහා බලා තීරණය කළ හැකි මුත් පරිණාමිකව පහළ මට්ටමේ සිටින සර්පයන්, මත්ස්‍යයන් උභයජීවීන් වැනි සතුන්ගේ ඉරියව්වලින් එසේ සංකීර්ණ හැඟීම් තීරණය කළ නොහැකි බවයි. නාගයින් නැටවීම වැනි දෑ අහිකුණ්ටිකයන් කළත් එහිදී පොළවට පයින් ගසමින් නළාව පිඹිමින් පුද්ගලයා කරන චලනයත් පොළවට ලැබෙන කම්පනයත් අනුව නයා පෙනේ කරමින් අනතුරු අඟවනවා මිස එය නැටීමක් නොවේ” කියා ය.

කෙසේ වෙතත් මේ සියලු දෙනා පවසන්නේ අපේ රටේ බහුලව නැතත් බටහිර රටවල උරගයන්, සර්පයින් දිවි මකුළුවන් ආදී විවිධ සතුන් ඇති කිරීම විනෝදාංශයක් බවයි. එය ඒ ඒ පුද්ගලයාගේ රුචිකත්වය මත තීරණය වන්නක් වුව ද සුරතල් සතුන් ලෙස විෂ සහිත සතුන් ඇති කිරීම ඉතා භයානක මෙන් ම මාරාන්තික ක්‍රියාවකි.

කෙසේ වුවත් මේ වනවිට මෙරට ජනප්‍රියතම නාගයා බවට පත්ව සිටින නළඟනගේ නාගයාට වෙනත් නයින්ගෙන් වෙනස්වන කිසිදු විශේෂ ලක්ෂණයක් නැති බව ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසයි. ඔහුට අනුව දළ කඩා ඇති කරන මේ නාගයා වයස අවුරුදු 5 ට වැඩි නයෙකි.

අධිකරණ නියෝගය මත සත්ත්වෝද්‍යානයට බාර වූ පසු නාගයා රැක බලාගත් උරග උයන අධීක්ෂණ නිලධාරි ප්‍රේමසිරි පීරිස් මහතාගෙන් අප විමසුවේ මේ නාගයා ඔහු දුටු ආකාරය ගැනයි.

“මේ නයා පොලිසියේ දී දකින කොට ම මම කීවා දළ ගලවපු එකෙක් කියලා. මට එහෙම කියන්න පුළුවන් අවුරුදු 32 ක අත්දැකීම් තිබෙන නිසා. නයි අඬන්නේ නිදියන්නේ නෑ. අනික දළ ගැලෙව්වාට පස්සේ ගොදුරක් දුන්නාම විනාඩි ගාණක් ඒක හපාගෙන ඉඳලයි ගිලින්නේ. අපි මේ නයාට සුදු පොඩි මීයෝ දෙන්නෙක් තුන්දෙනෙක් විතර සතියට දුන්නා. කුකුල් පැටව් දුන්නා. නයි උරගයින් නිසා කිරි බොන්නේ නෑ. එහෙම පොවන්න ඕන නම් බටයක් දාලා පොවන්න වෙන්නේ. එහෙමත් නැත්නම් තිබහට වතුර නැතිවෙලාවට කිරි දුන්නොත් ටිකක් බොන්න පුළුවන්. ඒත් සමහර නයින්ට දළ ගැලවූ පසු ලෙඩ ;වලා මැරෙන අවස්ථාත් තිබෙනවා. දළ කෝෂයෙන් ම ඉවත් කළොත් ආයෙ එන්නේ නෑ. නමුත් දළ කඩලා යන්තම් ඉතුරු වුණොත් නියපොත්ත වගේ පොඩියට ආයේ ඉතා හෙමින් වැඩෙනවා. මේ නයාගෙ වයස අවුරුදු හතරක් පහක් ඇති. අනික නයින්ට, නාග මාණික්‍ය වගේ දේවල් නෑ. ඒවා ඔක්කොම බොරු කතා.”
නාග මාණික්‍යය පිළිබඳව අන් සියල්ලන්ගේ ම මතය වූයේ ද අලින්ගේ ගජමුතු ලෙස හෝ බෙල්ලන්ගේ මුතු ලෙස හෝ නාගයින්ට මාණික්‍ය පිහිටන්නේ නැති බවයි.

එසේ නම් මේ නළඟන කියන කතාවලට හේතුව කුමක්ද? අපට නැඟුණු පැනය අප යොමු කළේ සායනික මෝහන වෛද්‍ය දමිත් හෙට්ටිආරච්චි මහතාටයි.

“මිනිසාත් සතුන් අතරත් ඈත සිටම එන සබඳතාවන් තිබෙනවා. තමන්ට සමාන ක්ෂීරපායින් ට අමතරව මාළුන්ට කුරුල්ලන්ට උරගයන්ට කැමැත්ත දක්වන අය ඉන්නවා. එය මනෝ විද්‍යාත්මකව බැලූ විට සාමාන්‍ය විනෝදාංශයක්. විද්‍යාත්මක තත්ත්වය යටතේ ඊට එහා දෙයක් නෑ. නමුත් සායනික මෝහන වෛද්‍ය අංශයට අනුව පසුගිය භවවලදී තමන් යම් සර්ප භවයක් ලබා තිබුණා නම් එවැනි අයට මෙවැනි සම්බන්ධතා ඇති විය හැකියි. අප නාගදීපය, නාගලෝකය ආදී වශයෙන් හඳුන්වන ඇතැම් දේවල ඕනෑවට එහා ගිය ආධ්‍යාත්මික විෂයක් ගැබ්ව තිබෙනවා. ඒ වගේ ම සමහර නිරෝගී අයත් ජනප්‍රිය වීමට, අන් අය රැවටීමට හා හුදෙක් වින්දනයට මෙවැනි සතුන් හා ඒ ආශ්‍රිත කතා ප්‍රවෘත්ති පවසනවා විය හැකියි. ඒ වගේ ම තමන්ගේ හිතින් මවාගත් ලෝකයක ජීවත්වන අයත් ඉන්නවා. එයට හැලොසිනේෂන් තත්ත්වය කියා කියනවා. ඒ සියල්ල කෙසේ වෙතත් එබඳු තත්ත්වයක් මේ පුද්ගලයා තුළ තිබේ දැයි කිව හැක්කේ මෝහන ක්‍රියාවකින් පසුවයි.

ඒ පැනයට ම පිළිතුරු සැපයූ අංගොඩ මානසික රෝහලේ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර ගම්භීර මහතා පවසන්නේ ද මෙය විශේෂ මානසික තත්ත්වයක් නොවන බවයි.

“මෙය මා දකින්නේ වෙළෙඳ ආකර්ෂණය ලබා ගන්න කරන උත්සාහයක් ලෙසයි. අනෙක සතකු ගැන ආදරයක් හටගත් විට කියන කතාවක් හැර මෙවැනි ප්‍රකාශවල සත්‍යයක් ගැබ්වන්නේ නෑ. ලෝකයේ ඇතැම් අවස්ථාවල සුෆීලියා නමින් හඳුන්වන තත්ත්වයේදී සතුන් කෙරෙහි ලිංගික ආශාවන් ඇතිවන මිනිසුන් පිළිබඳව සඳහන් වෙනවා. එහෙත් බොහෝ විට වාර්තා වී ඇත්තේ ක්ෂීරපායි සතුන් සමඟ පිරිමින් ඇති කරගත් සබඳතායි. ඒ වගේ ම හිස්ට්‍රියෝනික් පර්සනැලිටි කියන තත්ත්වයේදී ඇතැමුන් නාට්‍යානුසාරයෙන් යම් යම් දේ කියමින් රඟපෑමක් කරනවා. නමුත් මේ කුමන තත්ත්වයක්වත් බැලූ බැල්මට මේ කියන පුද්ගලයාට පවතින බවක් පෙනෙන්නට නැහැ. එසේ තිබෙනවා දැයි සොයා ගැනීමට විශේෂ ක්‍රමත් නැහැ. ඒ පුද්ගලයා කියන තොරතුරු අනුවම තමයි අපට ඒ ගැන තීරණය කළ හැකි වන්නේ.”

මෙවැනි බොහෝ අදහස් හා විද්‍යාත්මක තොරතුරු ගොනු කරන්නට සිදුවන්නේ මනුෂ්‍යයකු පිළිබඳවත් සත්ත්වයකු පිළිබඳවත් ඇතිවන හුදු අනුකම්පාව නිසාම ය. සත්‍ය වශයෙන් ම මේ තත්ත්වයට ම මේ නාගයා සුවිශේෂ විය හැකියි. නමුත් විද්‍යාත්මකව එවැනි කිසිදු විශේෂයක් නැත. එහෙත් අපට සිතීමට යම් දෙයක් තිබේ. එනම් කාගේ හෝ පෞද්ගලික අරමුණු උදෙසාවත් පෞද්ගලික වින්දනය උදෙසාවත් තවත් ජීවියකුගේ නිදහස හා ස්වභාවික තත්ත්වයන් වෙනස් කර අසරණ කිරීම මනුස්සකමට ඔබින ක්‍රියාවක් නම් නොවන බවය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all