Photobucket

Monday, December 24, 2012

අයහපත් කාලගුණයෙන් 42ක් මිය ගිහින්

රටපුරා විවිධ ප්‍රදේශයන්හි පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 42 දක්වා ඉහළගොස් තිබේ.

 මේ වනවිට අවතැන් කඳවුරු සංඛ්‍යාව  92ක් පුද්ගලයින් 17,608 දෙනෙකු තාවකාලිකව රඳවා තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අවධාරණය කරයි.

මාර්ගවලට පස් කඳු කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර වී තිබෙන අතර ජලාශ කිහිපයක් පිරී යාමෙන් වාන් දොරටු විවෘති කිරීමට සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කරයි.

නුවරඑළිය - වැලිමඩ, පොළොන්නරුව - මඩකළපුව, සෝමාවතිය - සුංගාවිල මාර්ගයන්ට පස් කඳු කඩාවැටීම සහ ජලයෙන් යටවීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන අතර එම මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද සහකාර අධ්‍යක්ෂ කියාසිටී. දැදුරු ඔය, පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රය, අනුරාධපුර රාජාංගනය වැව, උඩවලව ජලාශය සහ කන්තලේ ජලාශයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් වාන් දොරටු විවෘතකළ බවද ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි ජනතාව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි. මේ අතර හොරොව්පතාන නගරයද ජලයෙන් යටවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all