Photobucket

Friday, December 14, 2012

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් එයි

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවම සුදුසුකම් නිර්වචනය කර නීති ගත කිරීමටත්, පෞද්ගලික අංශයේ සේවය කරන විදේශීය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් සැකසීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එකඟතාව ලැබී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය ආයතන නිලධාරීන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ  (13) කළ සාකච්ඡාවේ දී මේ තීරණය ගෙන තිබේ.
 
මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මඟින් පෞද්ගලික අං‍ශයේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

මෙරට රෝගීන්ට සිය සෞඛ්‍ය සේවාව රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙන් ම ලබා ගත හැකිය. රාජ්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ ගුණාත්මකබව ඉතා ඉහළ මට්ටමක පවතින අතර එම ගුණාත්මකබව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයන් පවතින බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කරයි.

අධ්‍යාපනික වශයෙන් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයෙනුත්, පරිපාලනමය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙනුත් රාජ්‍ය සේවයේ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම සිදුකෙරේ.

පෞද්ගලික සේවයට මෙවැනි ක්‍රමවේදයක් නොමැති නිසා සේවය කරන වෛද්‍යවරුන්ගේ ගුණාත්මකබවය පිළිබඳ බරපතළ ගැටලු රැසක් පවතින බවද වෛද්‍ය සොයිසා මහතා පැවැසීය.පෞද්ගලික සේවාවේ පවතින මේ ගැටලු හේතුවෙන් රෝගී ජීවිත අවදානමට ලක්වීම, සෞඛ්‍ය සේවය වාණිජ්‍යකරණයවීම, මෙරටට ලැබෙන විදේශ විනිමය අඩාලවීම, පෞද්ගලික රෝහල්වල දී රෝගීන්ට ඇති වන සංකූලතාවලට බොහෝ විට ප්‍රතිකාර කරනුයේ රජයේ රෝහල්වල නිසා ඒ සඳහා අමතර රාජ්‍ය සම්පත් වැය කළ යුතුවීම යනාදී ගැටලු රැසක් පවතියි.

සෞඛ්‍ය ඇමැතිවරයා එකඟ වූ කාරණා වහාම ක්‍රියාත්මක කිරීම මඟින් පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාව ද ඉහළ මට්ටමක පවත්වාගෙන යා හැකි බව වෛද්‍ය සොයිසා මහතා කීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all