Photobucket

Monday, December 3, 2012

ආණ්ඩුවේ රැකවල් මැද රනිල් වසර 6 දික්කරගනී

ආණ්ඩුවේ සහායෙන් පොලිසිය, ආයුධ සන්නද්ධ විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ඇතුළු ආරක්‍ෂක අංශවලට අයත් 2,500කගේ පමණ පිරිසකගේ දැඩි රැකවල් හා ආරක්‍ෂාව මැද්දේ මාර්ග බාධක යොදාගෙන, සිරිකොත වටේ කටු කම්බි ගසා ගෙන එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම ධුර කාලය වසර 6ක් දක්වා දීර්ඝකර ගැනීමේ යෝජනාව පෙරේදා (01දා) පැවැති එජාප වාර්ෂික සම්මේලනයේදී සම්මත කරගත්තේය.

 සම්මේලනය පැවැති දිනයට පෙර දිනයේ පටන් මැස්සෙකුටවත් ඇතුළුවිය නොහැකි ලෙස පොලිසිය සිරිකොත මූලස්ථානය අවට කිලෝ මීටර් 2ක් පමණ ප්‍රදේශය පුරා ආරක්ෂාව තරකර තිබූ අතර 200ක පමණ කැරලි මර්දන කණ්ඩායමක් එදින අලුයම සිට සිරිකොත මූලස්ථානයේ රඳවා තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය දීර්ඝ කර ගැනීමේ යෝජනාව සම්මත කර ගත හැකිවන පරිදි ලැයිස්තුගත කරන ලද රනිල් හිතවාදී කණ්ඩායම් එදින අලුයම 5.30 සිට ශාලාවේ අසුන් ගන්වා සිටි අතර මින් වැඩි පිරිසක් උතුරු කොළඹ රවි කරුණානායක මන්ත්‍රිවරයාගේ හා කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ මෙහෙයවීමෙන් කැඳවාගත් පිරිස වූහ.

පෙරවරු 9.30ට මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා විසින් සම්මේලනය කැඳවීමේ නිවේදනය ප්‍රකාශ කරන විටද අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, මහනුවර ඇතුළු අෑත ප්‍රදේශවල සිට සම්මේලනයට සහභාගිවීමට අවසරපත් සහිතව විශාල පිරිසක් එහි පැමිණෙමින් සිටියද, විවිධ කරුණු දක්වමින් ‍ෙදාරටුවේ රැඳී සිටි පිරිස් ඔවුන්ට සමුළුව පැවැති පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන්හ.

එසේ ඇතුළුවීමට ඉඩ නොදීම පිළිබඳව ඔවුන් කරුණු විමසද්දී එහි රැඳී සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ට තර්ජනය කරමින් ඔවුන්ව එතැනින් ඉවත් කරන අයුරු එහි රැඳී සිටි මාධ්‍යවේදීන්ට දක්නට ලැබිණි. තව විශේෂ කරුණක් වූයේ සමුළුව ආරම්භ වන විට එජාපයේ ජේ‍යෂ්ඨ ක්‍රියාකාරීන් රැසක්ම එහි පැමිණ නොසිටි බවයි.

සමුළුවේ කැඳවීමේ නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මහ ලේකම්වරයා පිළිගැනීමේ කතාව සංක්‍ෂිප්තව නිමා කළ පසු එජාප මන්ත්‍රි විජයදාස රාජපක්‍ෂ මහතා නායකයාගේ ධුර කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙළේය. මේ වන විට විශේෂ ලැයිස්තුවකට අයත් පිරිස් හැර අවසරපත් තිබුණද සෙසු අයට ඇතුළුවීම අත්හිටුවා තිබිණ. මන්ත්‍රිවරයාගේ යෝජනාව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදී.

මේ අවස්ථාවේ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ යෝජනාවට තම විරෝධය වාචිකව ප්‍රකාශ කිරීමට අවශ්‍ය බව මහ ලේකම්වරයාට දැන්වූ අවස්ථාවේ ශාලාවේ ඉදිරියෙන්ම එජාප නායකයාගේ ඡායාරූප අතැතිව රවි කරුණානායක මන්ත්‍රිවරයා විසින් අසුන්ගන්වා සිටි 200ක පමණ පිරිසක් ප්‍රේමදාස මහතාට අවමන් කරමින් ඝෝෂා කරන්නට වූහ.

එහිදී එජාප නායකයා මේ යෝජනාවට කැමැති අය නැඟිට අත් ඔසවා තම කැමැත්ත ප්‍රකාශ කරන ලෙස කීවිට පිරිසක් නැඟී සිට අත් ඔසවා තම එකඟත්ව පළ කරන අතරතුරද ඝෝෂාව අඩුවක් නොවීය. තමන් මේ යෝජනාවට විරුද්ධ බැවින් එය වාචිකව සභාව හමුවේ ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා මහ ලේකම්වරයාට පවසන විට ඝෝෂාව තවත් උග්‍රවිය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා, "නිශ්ශබ්ද වෙන්න, ඕන කෙනකුට විරුද්ධ වෙන්න පුළුවන්, එයාට මයික් එක දෙන්න"යැයි කීවිට මගේ හෘද සාක්‍ෂියට එකඟව මේ යෝජනාවට මගේ විරුද්ධත්වය පළ කරනවා" යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

එවිට රනිල් වික්‍රමසිංහ මහතා "මේ ගොල්ලෝ කෑ ගහනවානේ. දැන් කැමැති අය ඉ¼දගන්න. අකැමැති අය බිම වාඩිවෙන්න" යැයි පවසා බහුතරයක් යෝජනාව අනුමතකර ඇති බවද කීවේය.

රැඩිකල් ප්‍රකාශ යෝජනාවට පසු යෝජනා ඉදිරිපත් කිරීම අවසන් වූයෙන් අවසර පත් සහිතව ඇතුළුවීමට ඉඩ නොදුන් විශාල පිරිසකට ඇතුළු වීමට ඉඩ ලැබෙන විට පෙරවරු 10.40 පමණ වූ අතර ඒ වන විට නායකයන්ගේ කතා ආරම්භ වී තිබිණි.

මවුබිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all