Photobucket

Tuesday, December 4, 2012

වව්නියා විනිසුරුගේ පසුම්බියට විද්ද හමුදාවේ 2 ක්‌ සමඟ තිදෙනෙක්‌ දැලේ

කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී වව්නියාව දිසා විනිසුරුවරයාගේ මුදල් පසුම්බිය සොරාගත් යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු කොටුව පොලිසිය මගින් ඊයේ (03 වැනිදා) උදේ අත්අඩංගුවට ගෙන ඇත. මහෙස්‌ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ රැස්‌වීමක්‌ සඳහා වව්නියාව දිසා විනිසුරුවරයා පැමිණෙමින් සිටියදී කොළඹ දුම්රියපළ ඉදිරිපිටදී මෙම සිද්ධිය වී තිබේ.

වව්නියාවේ සිට දුම්රියෙන් පැමිණ ඇති දිසා විනිසුරුවරයා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මිතුරකුගේ නිවසට යැම සඳහා දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී බස්‌ රථයකට නැග ඇත.

ටිකට්‌පතක්‌ ලබාගැනීමට මුදල් පසුම්බිය පරීක්‍ෂා කිරීමේදී එය සොරාගෙන ඇති බව දැනගත් විනිසුරුවරයා වහාම ඒ පිළිබඳව පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ කොටුව දුම්රිය ස්‌ථානය වෙත පැමිණ ඇත. පොලිස්‌ නිලධාරීන් දුම්රියපළ ඉදිරිපිට සැකකටයුතු අන්දමින් හැසිරෙමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පරීක්‍ෂා කිරීමේදී දිසා විනිසුරුවරයා සතු මුදල් පසුම්බිය සොරාගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු යුද හමුදා බුද්ධි අංශයේ රාජකාරි කරන පුද්ගලයෝ වෙති. අනෙක්‌ පුද්ගලයා කුලී වැඩ කරමින් ජීවත්වන අයෙකි.

සැකකරුවන් තිදෙනා කොටුව පොලිසිය භාරයට ගත් අතර සොරාගන්නා ලද දිසා විනිසුරුවරයාට අයත් මුදල් පසුම්බිය ද සොයාගෙන තිබේ.

එම මුදල් පසුම්බියේ තිබූ සිංගප්පූරු ඩොලර් ඇමරිකන් ඩොලර් සහ ශ්‍රී ලංකා මුදල් ද සොයාගැනීමට හැකිවිය.

මෙම බුද්ධි අංශ නිලධාරීන් කාලයක්‌ තිස්‌සේ මේ ආකාරයට මුදල් පසුම්බි සොරා ගැනීම් කොල්ලකෑම් සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

හේමන්ත රන්දුණු
දිවයින ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all