Photobucket

Tuesday, November 20, 2012

පොළොව යට සැඟවුණු ඛනිජ සම්පත් සොයා මතු කර ගන්නා මෙහෙයුමක්

ශ්‍රී ලංකා පොළෝ තලය අභ්‍යන්තරයේ සැඟව ඇති ඛනිජ සම්පත් ඇතුළු බලශක්ති ප්‍රභවයන් ගවේෂණය කර ඒවා මතුකර ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පාරිසරික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සැලසුම් කෙරේ.
 දෙස් විදෙස් භූ විද්‍යා සමීක්‍ෂණ ආයතන හා එක්ව අමාත්‍යාංශය යටතේ පවත්නා භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් මේ ගවේෂණාත්මක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ යැයි පාරිසරික කටයුතු අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ‘දිනමිණ’ ට කරුණු දැක්වූ කාර්යාංශයේ සභාපති ආචාර්ය පී. ඒ. විජයානන්ද මහතා, මේ වනවිට පොළව මතුපිට ඇති මෙරට සියලු ඛණිජ නිධි පිළිබඳ සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව සිටින බව පැවසීය.

“නමුත් පොළව අභ්‍යන්තරයේ තවත් බොහෝ ඛනිජ සම්පත් නිධි සැඟවී ඇති බව ඒකාන්තයි. එප්පාවල ඇපටයිටි නිධිය වැනි තවත් ඇපටයිටි නිධි භූ ගර්භයේ තිබිය හැකියි. එමෙන්ම යකඩ ඇතුළු ලෝහමය ඛනිජ නිධි [metallic mineral deposits] සොයාගත හැකි යැයි විශ්වාස කරනවා. මේ සඳහා සැඟවී ඇති ඛනිජ සම්පත් ගවේෂණය කිරීමේ ක්‍රියාදාමයකට අවතීර්ණ වීමට සැලසුම් කරගෙන යනවා” ආචාර්ය විජයානන්ද අනාවරණය කළේය.

වැඩිදුරටත් මේ ව්‍යාපෘතිය සම්බන්ධව අදහස් පළ කළ ආචාර්ය විජයානන්ද මහතා මීට වසර ගණනාවකට පෙර මේ ගවේෂණය සිදුකිරීමට නියමිතව තිබුණ ද යුදමය වාතාවරණය සහ කොටි ත්‍රස්තවාදී ක්‍රියා නිසා ගුවන් මඟින් සිදුකරනු ලබන එවැනි භූ විද්‍යා සමීක්‍ෂණයක් සිදු කිරීම අනාරක්‍ෂිත වූ නිසා ඒ සඳහා අවකාශයක් නොතිබූ බවද ප්‍රකාශ කළේය.

“අප විසින් සැලසුම්කර ඇති භූ සමීක්ෂණය සඳහා අති නවීන භූ විද්‍යා සමීක්‍ෂණ උපකරණ එනම් චුම්බකත්වය මැනීම හා විකිරණශීලිතාවය මැනීම සඳහා උපයෝගි කරගනු ලබන ජාලයක් සහිත විශේෂිත ගුවන් යානයක් යොදා ගැනෙනවා. මෙය අපේ භූ තලයට මීටර් 100ක පමණ උසකින් පොළවට ඉතා ආසන්නව ගමන් කරමින් දත්ත එක් රැස් කිරීම සිදුකරනවා. ශශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර කලාපය සහ පාෂාණ පිහිටා ඇති රටාවන් අනුව ගවේෂණයට ලක්වන භූමිය දත්ත එක්රැස් කිරීමේ කාර්යය සඳහා කලාප හයකට බෙදා තිබෙනවා. කඳුකරයේ මෙම සමීක්‍ෂණය සඳහා උපකරණ සහිත හෙලිකොප්ටර් යානයක් යොදා ගැනෙනවා.” භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා අනාවරණය කළේය.

“මෙය ජාතික වශයෙන් අතිශය වැදගත් භූ විද්‍යා ගවේෂණයක් බව කිව යුතුයි. මෙමඟින් එක් රැස් කර ගන්නා දත්ත විශ්ලේෂණයෙන් ශශ්‍රී ලංකාවේ විවිධ පළාත් ආශි‍්‍රතව මේ දක්වා මතුපිටට ප්‍රදර්ශනය නොවන්නා වූ සැඟ වී ඇති ලෝහමය ඛණිජ සම්පත් නිධි පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකිවන අතර ඒ සම්පත් මෙරටට සමෘද්්ධිමත්භාවය ගෙන ඒම සඳහා ඉවහල් වෙනවා” ඔහු අවධාරණය කළේය.

gurugedaraදිනමිණ ඇසුරින් පල කරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all