Sunday, November 18, 2012

සම්ප්‍රේෂණ කුලුනුවලට විකල්පයක්‌ සොයමු

සන්නිවේදනය යනු දැනුම, අදහස්‌, සිතිවිලි සහ හැඟීම් විවිධ ක්‍රමවේදයන් ඔස්‌සේ අන්‍යයන්ට දැන්වීමයි. ශ්‍රම ක්‍රියාවලිය සමඟ බද්ධ වූ සන්නිවේදනය ලෝකයේ ඉදිරි ගමන තීව්‍ර කළ ප්‍රධානම සාධකයක්‌ විය. සන්නිවේදනයට අදාළ තාක්‌ෂණික ක්‍රමවේදයන් ලෝකයේ මේ වන විට පවතින්නේ ඉතාමත් දියුණු තත්ත්වයකය. ඊට අනුරූපීව අප රටේ සන්නිවේදන ක්‍ෂේත්‍රය ද බෙහෙවින් ඉදිරියට පැමිණ තිබේ. උදාහරණයක්‌ ලෙස මේ වන විට රටේ දුරකථන සම්බන්ධතා ප්‍රමාණය මිලියන 21.9 කි. එම සංඛ්‍යාව රටේ ජනගහනයටද වඩා වැඩිය.
Tower

ජංගම දුරකථනය නූතන සන්නිවේදන ක්‍ෂේත්‍රයේ ප්‍රබලම උපකරණයකි. මේ වන විට ශ්‍රී ලංකාවේ අපටද එය නැතිවම බැරි උපකරණයක්‌ බවට පත්ව තිබේ. එම ජංගම දුරකථන සේවාව කාර්යක්‍ෂමව පවත්වාගෙන යැම සඳහාත්, වෙනත් විද්යුත් සන්නිවේදන කටයුතු සඳහාත් යෝධ ඇන්ටෙනා කුලුනු රාශියක්‌ මේ වන විට රටේ සතර දිග්භාගයේම ඉදි කොට තිබේ. එම කුලුනු සංඛ්‍යාව හය දාහකට ආසන්නය. මේ අනුව සමහරක්‌ ග්‍රාමීය ප්‍රදේශවල එක ආසන්නයේ ඇන්ටෙනා කුලුනු කීපයක්‌ ඉදිව තිබෙන ආකාරයද දක්‌නට ලැබේ. පරිසරයට ඇලුම් කරන්නකුට මෙම යෝධ ඇන්ටෙනා කුලුනු ඇහැට කටු අනින්නාක්‌ සේ දැනීම පුදුමයක්‌ නොවේ. ඒ බොහෝ සුන්දර දසුන් විකෘති වන ලෙස ඇන්ටෙනා කුලුනු ඇස ගැටෙන බැවිනි. කෙසේ වෙතත් මෙම ඇන්ටෙනා කුලුනු පිළිබඳව ජනතාව විසින් දැන ගත යුතු කරුණු රාශියක්‌ තිබේ. අපගේ අරමුණ ජනතාව විසින් දැනගත යුතු එම කරුණු පිළිබඳව විමසා බැලීමයි.

විද්යුත් සන්නිවේදනයට අදාළ සේවාවන් සපයන සමාගම් රාශියක්‌ මේ වන විට රට තුළ තිබේ. එහෙත් ඔවුන්ට හිතුමතේ ඇන්ටෙනා කුලුනු ඉදිකළ නොහැකිය. ලංකාවේ විද්යුත් සන්නිවේදන ක්‍ෂේත්‍රය පාලනය කරනු ලබන්නේ 1996 අංක 26 දරන පනත මගින් ස්‌ථාපිත විදුලි සංදේශ නියාමක කොමිසම මගිනි. විදුලි සංදේශ කුලුනු ඉදිකිරීම විධිමත් කිරීම සඳහා නිර්දේශයන් ලබාදීමට විවිධ ක්‍ෂේත්‍රයන් නියෝජනය කරන විද්වතුන් 16 දෙනකුගෙන් සමන්විත කමිටුවක්‌, විදුලි සංදේශ නියාමන කොමිසම මගින් පිහිටුවා තිබේ. කුලුනක උස, විදුලි අකුණු පිළිබඳ ආරක්‍ෂාව, විද්යුත් චුම්බක බලපෑම්, කුළුණකින් නිකුත් වන විකිරණ ප්‍රමාණය, වෙනත් සෞඛ්‍යමය කරුණු, පාරිසරික සාධක වැනි දේ පිළිබඳව එම කමිටුව සිය නිර්දේශයන් ඉදිරිපත් කර ඇත. එම නිර්දේශයන් ඉතා වැදගත්ය.

1. ඇන්ටෙනා අඩුම සංඛ්‍යාවක්‌ ඉදිකළ යුතු වන්නේ ඒ සඳහා වෙන් කළ තාක්‌ෂණිකව ගැළපෙන භූමි භාගයකය.

2. එම භූමි භාගයේ උපරිම කේන්ද්‍රය විය යුතු වන්නේ මීට ර් 250 කි.

3. කුලුන හේතුවෙන් අසල්වැසියන්ට සිදුවන හානි සඳහා වන්දි ගෙවීමට රක්‌ෂණ ක්‍රමවේදයන් පවත්වාගෙන යා යුතුය.

4. පාසැලක්‌, රෝහලක්‌, පන්සලක්‌ වැනි ජනතාව ගැවසෙන ස්‌ථානයක සිට කුළුණකට ඇති අඩුම දුර ප්‍රමාණය මීටර් 15 ක්‌ විය යුතුය.

5 විදුලි සංදේශ කුලුන සිට මීටර් 150 ක්‌ ඇතුළත රෝහලක්‌ පවතින්නේ නම් එම රෝහලේ විදුලි පද්ධතියට අනුමත කළ විදුලි පරිපථයක්‌ සවි කළ යුතුය.

මේ විදුලි සංදේශ කුලුනු පිළිබඳ ප්‍රමිතිය සහතික කිරීම සඳහා පිහිටුවනු ලද විද්යුත් කමිටුව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ගෙන් කීපයකි. පියවි ඇසට පෙනෙන මෙම කරුණු කුලුනු පවත්වාගෙන යන අදාළ සමාගම් විසින් කොතෙක්‌ දුරට පිළිපැද ඇත්ද යන්න ජනතාවට තීරණය කළ හැකිය.

අපගේ අදහස දුරකථන සේවාවන් සපයන සමාගමේ විසින් බොහෝ අවස්‌ථාවන්හිදී ඉහත කී කොන්දේසි කඩකර ඇති බවයි. විදුලි සංදේශ කුලුනු පිළිබඳව ජනතාවගේ පියවි ඇසට නිරීක්‍ෂණය කළ නොහැකි වැදගත් කරුණු කීපයක්‌ද තිබේ. ඇන්ටෙනා කුලුනකින් නිකුත් වන විකිරණ ප්‍රමාණය ඒ අතරින් ප්‍රධානය. නියමිත ප්‍රමාණයට වඩා විකිරණ නිකුත්වීම නොයෙකුත් අන්දමේ සෞඛ්‍යමය ගැටලු ඇතිවීමට හේතුවකි. විදුලි සංදේශ කුලුනක්‌, නියමිත පරිදි භූගත කළ යුතු අන්දම පිළිබඳවද විද්වත් කමිටුව සිය නිර්දේශයන් ඉදිරිපත් කර තිබේ. ප්‍රමිතියට අනුකූල නොවන ලෙස භූගත කළ කුළුණකින් අවට වෙසෙන ජනතාවට විශාල හානියක්‌ සිදුවිය හැකිය.

විදුලි සංදේශ කුලුනු විධිමත්ව ඉදිකිරීම සහ අධීක්‍ෂණය කිරීම සඳහා පිහිටුවන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ පළමුවැනි කොන්දේසිය ඉතා වැදගත්ය. එම කොන්දේසිය වන්නේ ''විදුලි සංදේශ කුලුනු සාමූහිකව භාවිතා කළ යුතුය'' යන්නය. මේ වන විට අප රටේ දුරකථන සේවාවන් සපයන සමාගම් සංඛ්‍යාව පහකි. එම සමාගම් විසින් අමු අමුවේම උල්ලංඝනය කරන ලද කොන්දේසිය වන්නේ එයයි. විද්වත් කමිටුව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ක්‍රියාත්මක වූයේ නම් එක ආසන්නයේ කුලුනු කීපයක්‌ ඉදිවිය නොහැකිය. අලුත් කුලුනක්‌ ඉදිකිරීම සඳහා දුරකථන සමාගම් ඉදිරිපත් කරන තර්කය වන්නේ තරංග නිකුත් කිරීම එකම උසකින් පවත්වා ගෙන යැම සඳහා එසේ කළ යුතු බවයි. එහෙත් නාගරිකව පවත්වාගෙන යන කුලුනු පිළිබඳව විමසා බලන විට එම තර්කය පදනම් විරහිත බව පෙනී යයි. ඇන්ටෙනා කුළුණක්‌ ඉදිකිරීම සඳහා වැය වන මුදල සුළු පටු නොවේ. එම මුදල රුපියල් ලක්‍ෂ 300 කට ආසන්නය. ලංකාවේ දුරකථන සේවාවන් සපයන සමාගම් අතර පවතින තරගය තියුණුය.

එම තියුණු තරගය නිසා නිර්ලෝභීව වියදම් කරමින් කාර්යක්‍ෂම සේවාවක්‌ සැපයීම සඳහා අදාළ සමාගම් ක්‍රියාකරන බව මේ අනුව කෙනකුට හැඟී යා හැකිය. එහෙත් එය සත්‍ය නොවේ. සත්‍ය බොහෝ ඈතය. අනවශ්‍ය ලෙස ඉදිවන කුලුනු සඳහා වැය වන්නේ ජනතාවගේ මුදල්ය. විද්යුත් සන්නිවේදන ක්‍ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික සමාගම් එම ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් සඳහා වැයකරන මුදල් සියල්ල අදාළ සමාගම වෙත රජය මගින් ප්‍රතිපූර්ණය කරනු ලැබේ. අනවශ්‍ය ලෙස විදුලි සංදේශ කුලුනු 3000 ක්‌ පමණ රට තුළ ඉදිව ඇත්තේත්, තවත් දහසක්‌ පමණ මේ වන විට රට පුරා ඉදිවෙමින් පවතින්නේත්, එම හේතුව නිසාය.

යෝධ ඇන්ටෙනා කුලුනු මේ වන විට තාක්‌ෂණික වශයෙන්ද අභාවයට යමින් පවතින්නකි. ඒ වෙනුවට යොදා ගන්නා නවතම ක්‍රමවේදය වන්නේ ''ෆයිබර් ඔප්ටික්‌ කේබල්'' ක්‍රමය මගින් සේවාවන් සැපයීමයි. ඒ මේ වන විට අන්තර්ජාලය ඔසසේ ක්‍රියාත්මක වන සහ හුවමාරු වන දත්ත ප්‍රමාණය අධිකවීමත් එම අධික දත්තයන් ගුවන් විදුලි තරංග ඔස්‌සේ සැපයීම කාර්යක්‍ෂම නොවීමත් හේතුවෙනි.ගුවන්විදුලි තරංග නැවත ග්‍රහනය (Reuse) කිරීමේ ක්‍රමවේදයට අනුව ඉදිකොට ඇති කුලුනු යම් ප්‍රමාණයක්‌ ඉවත් කිරීමටද සිදුවන බව අදාළ තාක්‌ෂනික නිලධාරින්ගේ අදහසයි. තව තවත් ඇන්ටෙනා කුලුනු රට පුරා ඉදිවෙමින් පවතින්නේ මෙවැනි තාක්‌ෂණික පසුබිමක්‌ යටතේ වීමද සැලකිය යුතු කාරණයකි.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්‍ෂේත්‍රය 1992 වසර දක්‌වා පැවැතියේ රජයේ පූර්ණ අයිතිය යටතේය. 1977 සිට විවෘත ආර්ථිකයෙන් බේරී පැමිණි විදුලි සන්නිවේදන ක්‍ෂේත්‍රය පෞද්ගලික අංශයට පැවරුණේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්‌ ලැබීමත් සමගය.

ගෙවී ගිය දශක දෙකක කාල සීමාව විද්යුත් සන්නිවේදන ක්‍ෂේත්‍රයට ඉතා වැදගත්ය. ඒ එම කාලසීමාව තුළ මුළු ලෝකයේම සන්නිවේදන ක්‍ෂේත්‍රය විප්ලවීය ප්‍රගතියකට ලක්‌වූ බැවිනි. අප රටේ සන්නිවේදන ක්‍ෂේත්‍රය පෞද්ගලිකකරණයට ලක්‌වන්නේද එම කාලසීමාව තුළදී වීම වැදගත්ය. පෞද්ගලික අංශය දායකවීමත් සමග ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්‍ෂේත්‍රය ශීඝ්‍ර ලෙස වර්ධනය වූ බවට ඉදිරිපත් කළ හැකි සාධක බොහෝය. එහෙත් එයට ප්‍රතිපක්‍ෂවද ඉදිරිපත් කළ හැකි සාධක බොහෝය. කෙසේ වෙතත් පෞද්ගලිකකරණ ක්‍රියාවලිය හඳුන්වාදීමේදී ඒ මගින් සිදුවන යහපත පිළිබඳව බොහෝ කරුණු ඉදිරිපත් කෙරිණි. පෞද්ගලික අංශය තුළ පවතින තරගය නිසා ජනතාවට සිදුවන යහපත ඒ අතරින් ප්‍රධානය. එහෙත් වෙනත් ක්‍ෂේත්‍රවල මෙන්ම සන්නිවේදන ක්‍ෂේත්‍රයේද එය සත්‍යයක්‌ නොවන්නේ දුරකථන සමාගම්වල ලාභය ස්‌ථාවර කරදීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිශ්චිත පදනම් ගාස්‌තුවක්‌ (Floor Rate) නියම කිරීම හේතුවෙනි. පෞද්ගලික ව්‍යාපාරික ක්‍රියාවලිය නිසා සම්පත් නිසි පරිදි කළමනාකරණය නොවීම සහ සම්පත් අපතේ යැම පිළිබඳව විද්යුත් සන්නිවේදන කුලුනු පිළිබඳව පවතින තත්ත්වය හොඳ උදාහරණයකි.

විද්යුත් සන්නිවේදනය යනු අතිශයින් වැදගත් සමාජමය සේවාවකි. එම සමාජමය සේවාව සංවර්ධනය විය යුතු වන්නේද ක්‍රියාත්මක විය යුතු වන්නේද සමාජමය ආකාරයෙනි. ලාභය මූලික අරමුණ ලෙස ක්‍රියාත්මක වන පෞද්ගලික ක්‍රියාවලියක්‌ ලෙස නොවේ. එම සේවාව මගින් උපයන මුදල් විදේශයන් කරා ඇදී නොයන්නේද සම්පත් උපරිම ලෙස කළමනාකරණය වීම සහ පෙරට එන තාක්‌ෂණය පාරිසරික සහ සෞඛ්‍යමය සාධක සමග නොගැටෙන්නේද එම සේවාව සමාජමය සේවාවක්‌ වශයෙන් පවතින්නේ නම් පමණකි.

''අහසට නැගී ඉහළින් වැජඹෙනු කුලුනු
ජීවිතයට අපේ බරවෙන හැටි බලනු''

ලයනල් අතුකෝරාළ
gurugedaraදිවයින ඇසුරින් පල කරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all