Photobucket

Thursday, November 15, 2012

විසිඑක්වන සියවසට අරුමය කැන්දූ විස්මිත පුරාවිද්‍යාත්මක සොයාගැනීම්

පුරාවිද්‍යාව තරම් කුතුහලය අවුස්සන විස්මිත දැනුම් සම්භාරයක් සඟවාගත්, වෙනත් විෂය පථයක් තවත් නොමැති තරම්ය. සොයායන තරමට ඉන් හමුවන සැඟවුණු රහස්, වැළලී ගිය අබිරහස් ද අනේක වන අතර, ඒවාට ලැබෙන පිළිතුරු සංඛ්‍යාව වැඩිවත්ම පැන නැගෙන ප්‍රශ්නද අසීමිතය. ඒවාට කිසිදා පිළිතුරු ලබා දී සෑහීමට පත්විය නොහැකි තරම් මෙම විෂය පථය පෘථුලය. ගැඹුරුය. ඒ නිසාම පුරාවිද්‍යාව කෙරෙහි දක්වන ජනතා ආකර්ෂණයද ඉමහත්ය. මෙම ලැයිස්තුවෙන් ඉදිරිපත් කෙරෙනුයේ නූතන මිනිස් සංහතිය විස්මයෙන් පුරවාලූ එබඳු ආකාරයේ විස්මිත එමෙන්ම වැළලී ගිය ඉතිහාසය යළි අනාවරණය කිරීමෙහිලා වැදගත් වූ සංධිස්ථානාත්මක පුරාවිද්‍යාත්මක සොයාගැනීම් කීපයකි.
history 
බාරූක්ගේ මුද්‍රාව
කතෝලික බයිබලය පරිශීලනය කරන්නන්ට ඉතා හුරු පුරුදු නාමයක් වන බාරූක් දිවාසිවරයාගේ සම්පූර්ණ නම වනුයේ ‘බාරූක් බේන් නෙරියාය’ පුරාණ බයිබල් රචකයකු වූ බාරුක් ජෙරමියා දිවැස් ප්‍රසාදිවරයාගේ පෞද්ගලික ‍ලේකම්වරයා ලෙස සේවය කරන ලද්දා සේම තමන්ගේම බයිබල් ‍පොතක් රචනා කිරීමටද සමත්විය. ජෙරමියා දිවැසිවරයා විසින් දේව අනුහසින් යුතුව සිය මුවින් වදාළ සියලුම අනාවැකි ග්‍රන්ථාරූඪ කළ බාරූක්ගේ නාමය යුදෙව් සේම කතෝලික ඉතිහාසයේද ඉතා බුහුමනින් යුතුව සැලකෙන්නකි. 1975 දී පුරාවස්තු අලෙවි කරමින් තිබූ වෙළෙඳ සලකින් ‘බාරූක්ගේ’ නම සඳහන් කළ මැටි මුද්‍රාවක් අහඹු ලෙස සොයාගැනීමට ලැබුණු අතර මෙහි ඇති විශේෂත්වය වනුයේ බාරූක්ගේ නම පමණක් නොව ඇඟිලි සලකුණක්ද ඒ මත සටහන්ව තිබිමයි  


රොසෙටා ශිලා ‍ලේඛනය
රොසෙටා ශිලා ‍ලේඛනයේ සොයාගැනීම අතීත ඊජිත්තු රූපාක්ෂර තුළ සැඟවී තිබුණු රහස් ගණනාවක් අනාවරණය කර ගැනීමට මග පාදන ලද පුරාවිද්‍යාත්මක සොයාගැනීමකි. ක්‍රි.පූ. 196 දී විසූ පස්වන ටොලමි රජු විසින් නිකුත් කළ රාජ්‍ය නියෝගයන් සටහන් කරන ලද මෙම ශිලා පුවරුවේ ඇති සුවිශේෂත්වය වනුයේ ඊට පෙර හමුවූ අන් කිසිදු රාජ්‍ය ආඥා කොටන ලද පුවරු මෙන් නොව රොසෙටා ගල් පුවරුව බහුවිධ භාෂාවලින් සකස් කර තිබිමයි. පුරාතන ඊජිප්තු රූපාක්ෂර, ඩිමොටික් හා පුරාතන ග්‍රීක යන ආදි භාෂා ත්‍රිත්වයකින් එකම ආඥාව සටහන් කොට තිබූ මෙම ඓතිහාසික පුවරුව එතෙක් හමු වූ එබඳු ආකාරයේ පළමු ශිලා ‍ලේඛනයයි. 1799 ජූලි 15 දා ඇලෙක්සැන්ඩ්‍රියාවට ගමනාරම්භ කොට තිබූ නැ‍පෝලියන් අධිරාජ්‍යා ප්‍රමුඛ සෙබළුන් විසින් සොයාගත් මෙම පුවරුව සහස්‍රයකට ආසන්න කාලයක් කියවා තේරුම් ගැනීමට නොහැකිව තිබූ “ඊජිප්තු රූපාක්ෂර” අවබෝධ කර ගැනීමට ලද පළමු පුරාවිද්‍යාත්මක ඉඟිය මෙය විය. ග්‍රීක පිටපත ආධාරයෙන් “ ෂෝන් ෆ්‍රැන්කොයිස් චැම්‍පෝලියන් විසින් පුරාණ ඊජිත්තු පිටපත මෙන්ම ඩිමොටික් පිටපතද කියවා අවබෝධ කර ගන්නා ලද්දේ, එතෙක් කාලයක් අබිරහසක්ව පැවැති ආදි භාෂා ද්විත්වයක් හැදෑරීමේ අවස්ථාවත්, සෙසු ඓතිහාසික ලිපි ‍ලේඛන කියවා ගැනීමටද නොසිතූ පිටිවහලක්ද ලබාදෙමිණි.
 

නැග් හමාඩි පුස්තකාලය
ක්‍රි.ව. 1945 දී ඊජිප්තු නගරයක් වූ ‘නැග් හමාඩි’ හි අපූරු සොයාගැනීමක් සිදු කරන ලද්දේ ‘මොහොමඩ් අල් සම්මාන්’ නමැති ගැමියෙකු විසිනි. විශාල වීදුරු භාජනයක බහා තිබූ සමින් බඳින ලද අත්පිටපතක් ඔහු විසින් සොයා ගනු ලැබූ අතර, හැදෑරීම්වලින් හෙළිවූයේ එය එතෙක් කල් කතෝලික දේවගැතිවරුන්ගේ කට වචනයට පමණක් සීමා වී තිබුණු පුරාණ ක්‍රිස්තියානි දර්ශනවාදී සමූහයකට අයත් වූ ‍ලේඛනයක් බවයි. එතෙක් කල් මෙම විශේෂිත දර්ශනය  පිළිබඳ කිසිදු ලිඛිත සාක්ෂියක් හමු වී නොතිබුණේ ක්‍රි.ව. 367 දී
එකල සිටි ‘ඇතනේසියුස්’ බිෂෝප්වරයා විසින් ‘ නොස්ටික් දර්ශනයට අයත් සියලුම ‍ලේඛන හා පිළිවෙත් විනාශ කිරීමට කටයුතු සැලැස් වූ හෙයිනි. කෙසේ වුවද නැග් හමාඩිහිද වීදුරු බඳුනකින් හමු වූ අපූරු ‘පුස්තකාලය’ කිසිවෙකු විසින් ඉතිහාසගත සිහිවටනයක් ලෙස මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කොට තැබිමට පියවරගෙන තිබිම නිසා, ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත් වීමෙන් පසුව අ‍පෝස්තුළුවරුන්ගේ ක්‍රියාකාරකම් හා බයිබලයට සමගාමී ලෙස ලියැවුණු සෙසු ‍ලේඛනද ඇතුළත් ‘නොස්ටික්’ දර්ශනවාදී ‍ලේඛන, ක්‍රිස්තියානි දේවස්ථාන බිහිවීම ආරම්භ වූ අවධියේදී පරිභවයට ලක් වූ ‘නොස්ටික්’ නිකායට අයත් කරුණු පිළිබඳ අද සිටින අපට දැන ගැනීමට ඉතිරිව ඇති එකම පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍යයයි.

history 01පොම්පෙයි
ක්‍රි.ව. 79 දී විසුවියස් ගිනි කන්දේ සිදුවූ පිපිරීමත් සමග උණු අළු මිශ්‍රිත ලාවා ගංගා යට ගිලී ගිය රෝමයේ ඓතිහාසික ‍පොම්පෙයි නගරය වසර එක්දහස් හත්සියයක් වැනි අසීමිත ලෙස දිගු වූ කාලයක් පුරා කාගේත් මතකයෙන් බැහැරව පැවැතුණි. ක්‍රි.ව. 1798 දී ඒ අසල පිහිටි ‘ හර්කියු‍ලේනියම්’ නමැති නගරය සොයා ගැනීමත් සමග සහස්‍රයකට එපිට කාලයක දී ‍පොළොවට මිහිදන්ව ගිය ‍පොම්පෙයි නගරය සොයාගැනීමේ භාග්‍යය හිමිවූයේ හමුදා ඉංජිනේරුවකු වූ රෝක් ජෝකීන් ඩී ඇල්කුබියරේ හටය තවදුරටත් සිදු කළ කැණීම්වලදී “ගුයිසේපේ ෆියෝරෙල්ලි’ විසින් ලාවාවලින් ආවරණය වී මිහිදන් වූ ‍පොම්පෙයි වැසියන්ගේ සිරුරු සොයා ගනු ලැබිය. අනුරාගී හැඟීම් මත් වූ වැසියන් විසූ නගරයක් ලෙස ‍පොම්පෙයි නගරය ප්‍රකට වූයේ කැණීම් හරහා මතු වූ ‍පොම්පෙයි නුවර තාප්ප හා ගොඩනැගිලි බිත්ති මත අඳින ලද විවිධ බිතු සිතුවම් හා කෞතුක වස්තු නිසාය. කෙසේවුවද ‍පොම්පෙයි නගරය සම්බන්ධයෙන් මතෛක් ප්‍රකට නොවූ සුවිශේෂීම හෙළිදරව් කිරීම වනුයේ එහිවූ තාප්පයක සටහන් කොට තිබියදී හමු වූ ‘ සොදොම් හා ගොමොරා’ යන නම් දෙකින් බවයි. බයිබලයේ පුරාණ ගිවිසුමේ ඒවා දේව කෝපය නිසා ගිනි ජාලාවලට ගොදුරු වී විනාශව ගිය සොදොම් හා ගොමොරා නමැති පාපිෂ්ඨ නගරය දෙකෙහි නමින් ‍පොම්පෙයි නුවර හැඳින්වීම නිසා බොහෝ ක්‍රිස්තියානීන් විශ්වාස කරනුයේ ‍පොම්පෙයි නුවර විසූ වැසියන්ගේ අනාචාරමත් දිවිපවෛත පිළිබඳව උරණව දෙවියන් විසින් ‍පොම්පෙයි නුවරද විනාශයට පත් කරන්නට ඇති බවයි. 
 
පිලාත්ගේ ශිලා ඵලකය
බයිබලයේ නව ගිවිසුමට අනුව ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට කැප කළ ජූදියාවේ පිලාත් ආණ්ඩුකාරවරයා සැබෑ ලෙස ජීවත් වූවෙකු බව ඔප්පු කිරීමට හමු වූ ප්‍රථම භෞතික සාක්ෂ්‍ය මෙයය. ක්‍රි.ව. 1961 දී ජුදියාවේ සිසේරියා ප්‍රදේශයේදී පුරාණ රෝමානු රංග ශාලාවක සිදු කළ කැණීමකදී හමු වූ මෙම ගල් පුවරුව තරප්පු පෙළක් ඉදිකිරීම සඳහා යොදා ගෙන තිබුණෙකි. එහි ඉතා පැහැදිලි ලෙස සටහන් කොට තිබුණේ “ ඔගස්ටි අධිරාජ්‍යයාට පිලාත් වෙතින් තිළිණයකි. යන්නයි. 

historyමළ මුහුදෙන් හමු වූ අත්පිටපත
ක්‍රි.ව. 1946 -1947 අතර කාලයේදී මළ මුහුද ආසන්නයේ වූ ලෙනකින් සොයාගන්නා ලද පිටු නමසිය හැත්තෑ දෙකකින් සමන්විත මෙම බයිබල් ‍ලේඛන සමූහය ක්‍රි.ව. 2 තරම් වූ ඈත අතීතයකට දිව යන්නකි. අදට පවතින පැරණිම හීබෘ බයිබල් පිටපත්වල අතීතය සටහන් වන්නේ ක්‍රි.ව. 9 ලෙස වන බැවින් මළ මුහුද ආසන්නයේ වූ ලෙනින් සොයා ගන්නා ලද ක්‍රි.ව. 2 වන සියවසට අයත් හීබෘ පිටපත මගින් ක්‍රිස්තු උපතින් වසර දෙසීයක් ගත වූ තැන සිට වර්තමානය දක්වා අතර කාලයේදී සිදු කෙරුනුු පරිවර්තනයන්ගේ ඉතිහාසය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබිමට හැකි වී තිබේ. මම හීබෘ පිටපත සමගම පුරාතන ග්‍රීක භාෂාවෙන් ලියන ලද බයිබල් කොපි දෙකක්ද හමු වී ඇති අතර භාෂා දෙක අතර සංසන්දනාත්මක හැදෑරීමක් සිදු කිරීමට ඉන් අවස්ථාව ලැබිණි. 

ඇල්ටමීරා ලෙන්
ආධුනික පුරාවිද්‍යාඥයකු වූ මාර්සෙලී සදන්ස් ඩී සවුමෝලා සිය දොළොස් හැවිරිදි දියණිය සමග ශීලා යුගයට අයත් මෙම අපූරු ලෙන් සොයා ගැනීමත් සමග ඉදිරි දශක ගණනාවක් පුරා අවධානයට ලක් වූ මතභේදාත්මක සොයාගැනීමක ආරම්භය සනිටුහන් විය. ශිලා යුගයට අයත් සිතුවම් කිසිවක් ඊට හෝ අනාවරණය වී නොතිබුණා පමණක් නොව ශිලා යුගයේ විසූ ආදි මානවයන් වෙතින් එබඳු දස්කමක් කිසිවිටකත් බලා‍පොරොත්තු නොවීම මෙම මතභේදයට හේතුවිය. බුද්ධි මට්ටමින් ඉතා පහළ ස්ථරයක වූ ආදි මානව කොට්ඨාසයක් ලෙස අවතක්සේරුවට ලක්ව සිටි ශිලා යුගයේ මානවයන් විසින් ඇඳි මෙම කටුසටහන්වල සත්‍යතාව එම සොයාගැනීමෙන් විසි වසරකට පසුව තහවුරු වීමත් සමග, ආදි මානවයන් පිළිබඳ එතෙක් මුල් බැසගෙන තිබූ උපකල්පන සියල්ල අලූයමලූ කෙළ පිඩක් සේ බැහැර කිරීමට පුරාවිදුවන්ට සිදුවිය. 

තූතන්කාමන් සොහොන
පුරාණ ඊජිත්තු පාරාවෝ යුගය හැදෑරීමෙහිලා මතෛක් සිදු කෙරුන අතිශය වැදගත්ම සොයාගැනීම ලෙස සැලකෙනුයේ ‘තූතන්කාමන්’ රජුගේ මමිය සහිත සොහොන් ගැබ අනාවරණය කර ගැනීමයි. එම සුවිශේෂ අනාවරණයේ විස්මයානුකූල බව නියමාකාරයෙන්ම ඔප්පු වන්නේ එය සොයාගැනීමට සිදු කළ අවස්ථාවේදී ‘ හොවාර්ඩ් කාටර්’ ගේ මුවින් නිකුත් වූ වදන් පෙළ කියූ කලය. “ මුලදි මට කිසිවක් දැක ගැනීමට නොහැකි වූයේ, කුටීරයෙන් නික්මුණු උණුසුම් වායු ධාරාවෙන් මා අත වූ ඉටිපන්දම් දැල්ල සෙලවීමට පටන් ගත් බැවිණි. නමුත් හාත්පස වූ අඳුරට මගේ දෑස් හුරුවත්ම මා ඉදිරියේ දිස්වූයේ වචනින් කියා නිමකළ නොහැකි තරම් වූ අපූර්වත්වයකින් යුතු වස්තු සම්භාරයකින් පිරී ගිය කුටියකි. බැලු බැලූ තැන හැම අතින්ම මට දිස්වූයේ රත් පැහැයයි. වටා සිටියවුන්ට කල්පයක් යැයි හැඟී ගිය දිගුකාලයක් පුරාවට මා සිහි එළවා ගත නොහැකිව මා වටා වූ ආශ්චර්ය දෙස නෙත් අයා බලා සිටියෙමි.” 

ලක්බිම පුවත් පත ඇසුරින් උපුටා ගන්න ලදී.





  
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all