Photobucket

Monday, September 28, 2015

ජපානයෙන් විශාලතම පෙරළියක්

න්තර්ජාතික රග්බි ක්‍රීඩාවේ දී ලෝක කුසලාන තරගාවලියන් දෙකක් පැවැත්වෙයි. ඒ රග්බි සංගම් සහ රග්බි ලීග් වශයෙනි. රග්බි සංගම් සහ රග්බි ලීග් ක්‍රීඩාවන්හිදී කණ්ඩායමකට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ප්‍රමාණය සහ සමහර නීති රීති වෙනස් වේ. මින් ශ්‍රී ලංකාව ඇතුළුව ලොව වඩාත්ම ජනප්‍රියතම වන්නේ රග්බි සංගම් ක්‍රීඩාවයි. මේ වන විට පැවැත්වෙන්නේ රග්බි සංගම් ලෝක කුසලාන තරගාවලියයි.

මෙවර පැවැත්වෙන්නේ එහි 08 වැනි තරගාවලියයි. රග්බි ඇතුළුව ජනප්‍රිය ක්‍රීඩා කිහිපයක්ම ලොවට හඳුන්වා දුන් එංගලන්තය මෙවර තරගාවලියේ සත්කාරක රට වේ. ඔවුන් ලෝක කුසලාන රග්බි සංගම් තරගාවලියක සත්කාරකත්වය 1991 වසරේදී ද දරනු ලැබීය.

08 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 18 සිට ලබන ඔක්තෝබර් මස 31 දක්වා පැවැත්වීමට නියමිතය. ඊට සුදුසුකම් ලබා තිබෙන රටවල් ගණන 20 කි. මේ අතරින් ආසියාව නියෝජනය කරන එකම රට වන්නේ ජපානයයි. මේ දක්වා පැවැති තරගවලදී විශාලතම පෙරළිය සිදු කිරීමට සමත්වූයේද ජපානයයි. ඒ මුල් වටයේ තරගයකදී ප්‍රබල දකුණු අපි‍්‍රකාව ලකුණු 34 - 32 කින් පරාජය කරමිනි.

වත්මන් අන්තර්ජාතික කණ්ඩායම් වර්ගීකරණයේ දී දකුණු අප්‍රිකාවට අංක 03 සහ ජපානයට අංක 13 ස්ථානයන් හිමි වී තිබේ. එමෙන්ම 1995 සහ 2007 දී ලෝක ශූරයෝ වූයේද ඔවුන්මයි. ඔවුන් ජපානය හමුවේ තරගයක් පරාජය වූයේත් පළමු වතාවටයි. මෙම විශිෂ්ට ජයග්‍රහණය ලැබීමට පෙර ලෝක කුසලාන රග්බි තරගාවලියන්හිදී ජපානයට පිට පිටම තරග 18 කම ජයක් ගැනීමට හැකි වූයේ නැත. ඔවුන් අවසන් වරට ජයග්‍රහණයක් ලැබුවේ 1991 දී සිම්බාබ්වේට එරෙහිවය. ඒ ලකුණු 52 - 08 ක් වශයෙනි.

මෙවර තරගාවලියේ ප්‍රථම තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ලකුණු 35 - 11 කින් ෆීජි පරාජය කරමිනි. එංගලන්තය උත්සාහ කරන්නේ රග්බි සංගම් ලෝක කුසලාන ශූරතා 02 ක් ජය ගත් සිවුවන රට බවට මෙවර පත්වීමටයි. කෙසේ වෙතත් මේ වන විට ජපානයට අමතරව පෙරළිකාර ජයක් ලැබූ තවත් රටක් වේ. ඒ ජෝර්ජියාවයි. ඔවුන් ලකුණු 17 - 10 කින් ටොංගා කණ්ඩායම පරාජය කරන ලදී. ජෝර්ජියාව සහභාගි වන සිව්වන ලෝක කුසලාන තරගාවලියත් එහිදී ඔවුන් ජයගත් තෙවන තරගයත් මෙය වේ. මීට පෙර ඔවුන් 2007 දී නැමීබියාවත් 2011 දී රුමේනියාවත් පරාජය කරනු ලැබූහ.

ටොංගා සමඟ පැවැති තරගයට ක්‍රීඩා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට ජෝර්ජියාවේ 18 හැවිරිදි වැසිල් ලොබ්ස්හානිඩ්සේ සමත් වූයේය. එනම් ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූ ළාබාලතම ක්‍රීඩකයා වීමයි. මීට පෙර වාර්තාව 2007 තරගාවලියේදී පිහිටුවා තිබුණේ ඇමෙරිකාවේ ට්‍රොටොන් පැලැමෝ විසිනි. එවිට ඔහුගේ වයස අවුරුදු 19 දින 08 කි.

මේ අතර ගියවර ශූරයෝ වන ඕල් බ්ලැක්ස් නමින් ප්‍රකට නවසීලන්තය මෙවර ඔවුන්ගේ ප්‍රථම තරගයේදී ලකුණු 26 - 16 ක ජයක් ලැබුවේ ආර්ජන්ටිනාව හමුවේදීය. එම තරගය සුප්‍රකට වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී නැරැඹූ පිරිස 89,000 ඉක්මවීය. එයත් වාර්තාවකි. එනම් ලෝක කුසලාන රග්බි තරගයක් නැරැඹූ වැඩිම පිරිස එය වීමෙනි. මීට පෙර වාර්තාව වූ 82,957 ක පිරිසක් 2003 අවසන් මහ තරගය නරඹා තිබුණාහ.

තවමත් ලෝක ශූරතාවක් හිමිකර ගැනීමට හැකි වී නැති ප්‍රංශය මෙවර ඔවුන්ගේ ප්‍රථම තරගයේදිම අසල්වැසි ඉතාලිය ලකුණු 32 - 10 කින් පරාජය කළහ. මෙම දෙරටේම ප්‍රධාන පුහුණුකරුවන් වන්නේ ප්‍රංශ ජාතිකයන්මයි. ප්‍රංශයට ලෝක කුසලාන අනුශූරතා 03 ක්ම හිමි විය. වත්මන් ලොව අංක 01 හිමි නවසීලන්තය මෙවර තරගාවලියත් ජයගතහොත් පිට පිට රග්බි සංගම් ලෝක කුසලාන ශූරයන් වූ ප්‍රථම රට බවට නව වාර්තාවක් පිහිටුවනු ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all