Photobucket

Friday, March 8, 2013

මේක හදිසි තීරණයක් නොවෙයි

ඔස්ට්‍රේලියාව සමග පසුගිය වසර අවසානයේ පැවැති ටෙස්ට් තරගමාලාවට යෑමට පෙර සිටම ක්‍රීඩාවෙන් සමුගැනීමේ අදහසක් තම සිතෙහි තිබු බව ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රවීණ පිතිකරු තිලාන් සමරවීර ඊයේ එස්.එස්.සී ක්‍රීඩාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල සමග මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරග 6 අවලංගු නොවුනානම් තම තීරණය තරම් ඉක්මන් ‍වෙන්නේ නැතැයි ඔහු කීවේය.

“අවාසනාවකට වගේ මේ වසරේ පැවැත්වීමට තිබුණු දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරග 3ත් කොදෙව් පිල සමග ටෙස්ට් තරග 3ත් අවලංගු කර තිබෙනවා. ටෙස්ට් පිටියේ අංක එකේ කණ්ඩායම වන දකුණු අප්‍රිකාව සමග ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තුවෙන් සිටියේ” සමරවීර පැවැසීය. 

මහේල ජයවර්ධන ආබාධකයකට ලක්වීමෙන් පසුව තමාට බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබීමට ඉඩකඩ තිබු බවත් එබැවින් බංග්ලාදේශය සමග ටෙස්ට් තරගමාලාවෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගැනීමට අදහස් කළ බවත් කී සමරවීර, එහෙත් පළමු ටෙස්ට් තරගයට නම්කළ සංචිතයට තමා ඇතුළත් නොවීමෙන් සමුගැනීමේ තීරණය ඉක්මන් කළ බවද සඳහන් කළේය.

“මම ලොකු බලාපො‍රොත්තුවකින් සිටියේ අවසන් කණ්ඩායමට තෙරෙවී කියලා. එහෙත් මා පුදුමයට පත්වුනා මා තෝරා නොගත්තේ ඇයි කියලා” සමරවීර කියා සිටියේය.

ක්‍රීඩාවෙන් සමුගැනීමේ ලිපිය පෙරේදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාර දීමෙන් පසුව ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් හමුවීමට සමරවීරට අවස්ථාව උදාවිය.

“තේරීම් කමිටු නිලධාරීන් මා එක්ක කතා කළා. එයාලගේ අදහස වුනේ බංග්ලාදේශය සමගත් ඊලගට සිම්බාබ්වේ පිල සමගත් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් පමණක් ඇතුල් කර ගන්නයි. නමුත් මේ වසරේ දෙසැම්බර් මාසයේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග මාලාවට මාගේ පලපුරුද්ද ලබාගන්න ඔවුන්ගේ බලාපොරොත්තුවක් තිබුණා. නමුත් මාස 10ක් බලා ඉන්න එක මට අසිරු දෙයක්” සමරවීර පැවැසීය.

තමාට ක්‍රීඩවෙන් සමුගැනීම සඳහා බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරග ලබාදෙන ලෙස තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කලේදැයි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතරු දුන් සමරවීර කියා සිටියේ තමා එවැනි ඉල්ලීමක් නොකල බවයි.

“අවසන් 15 දෙනාට මම සුදුසු නැත්නම් සමුගැනීමේ තරගයට ක්‍රීඩා කරන්න මම කැමති නෑ. තව කෙනෙකුට ලැබෙන අවස්ථාවත් අහිමි කරන්න මගේ බලාපොරොත්තුවක් නැ” ඔහු කීවේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all