Photobucket

Saturday, February 23, 2013

මේ කොරියාවේ චංගුමී නෙමෙයි අපේ ශ්‍රී ලංකාවේ සංජීවනී

නව කැලණි පාලම අසලින් සේදවත්ත දෙසට ගොස් සේදවත්ත ක්‍රීඩාගාරය මැදින් නව කැලණි පාලම පාර 72/20 C1 දරණ ස්ථානය සොයාගෙන ඒ ප්‍රදේශයේ පවතින අඩු පහසුකම් නාගරික ජනාවාස දෙසට අප ගමන් කළේ සවස 3.30 ට පමණය. සේදවත්ත ක්‍රීඩාංගණයේ හැම තැනම ක්‍රිකට් සෙල්ලම් කරන, එල්ලේ ගහන ළමයින් ය. වැඩිහිටියෝ එක් කෙනෙක් දෙන්නෙක් ද එම ළමයින් සමඟ ක්‍රීඩා කරති. පිටියේ හැම තැනකම ක්‍රීඩා කරන නිසා පන්දු පාරක් නොකා පිටිය හරහා වැල්ලම්පිටිය සේදවත්ත අඩු පහසුකම් ජනාවාස වෙත ගමන් කිරීම තරමක් දුෂ්කරය.

අඩු පහසුකම් නාගරික ජනාවාසවලට ඇතුළත් වෙන ඉතා පටු මාර්ගයට පිවිසෙන විට බැට්, බෝල උස්සාගත් තවත් කුඩා ළමයින් පිරිසක් දිව ආවේ ස්ලම්ඩෝග් මිලියනර් (Slumdog millionaire) චිත්‍රපටයේ ජවනිකාවක් සිහිගන්වමිනි. ඉන් පසු අප ප්‍රවේශ වූයේ ඉතා පටු මාර්ගයකට අසීරුවෙන් එහි ගමන් කළ හැකි වූයේ එක් පුද්ගලයෙකුට පමණි. 

එම කුඩා පටු මාර්ගයේ දෙපස සීමා වී තිබෙන්නේ ලෑලි ගහපු නිවාසවලින් ය. නිවාස සිය ගණනක් තිබෙන සේදවත්ත අඩු පහසුකම් ජනාවාසයට ඇතුළු වී ටික දුරක් ගමන් කරන විට අප සොයා යන කථානායිකාවගේ නිවස සොයා ගැනීමට හැකි විය. ඇය ගැන බොහෝ දෙනෙකු කථා කරන අද දවසේ අපි ඇයගේ කතාව සොයා ගියෙමු. ඇය සංජීවනී ප්‍රියදර්ශනී.

සංජීවනී ප්‍රියදර්ශනී අධ්‍යාපනය හදාරන්නේ බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ ය. 2012 වර්ෂයේ උසස් පෙළ වාණිජ අංශයෙන්’A සාමාර්ථ 3 ක් ලබාගෙන සංජීවනී සරසවියේ දොරටුව අබිමුවට පිවිස සිටී.
ඇය අභියෝග රැසක් මධ්‍යයේ උසස් පෙළ කඩඉම ජයග්‍රහණය කරමින් සමස්ත අඩුපහසුකම් නාගරික ජනාවාසවල සියලු දරුවන්ට ආදර්ශයක් වෙමින් ජීවිත අභියෝගය ජයගැනීමට නොබියව මුහුණදීම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බොරැල්ල සිංහපුර ජනසෙවණ මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 35 කට අධික වටිනාකමකින් යුත් නව නිවස ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සංජීවනී ප්‍රියදර්ශනී ශිෂ්‍යාවට බාරදෙනු ලැබිණ. 

සංජීවනී තම අභියෝග ජයගත් ආකාරය මාධ්‍ය මගින් දුටු විමල් වීරවංශ අමාත්‍යවරයා සංජීවනී ඇතුළු පවුල අමාත්‍යාංශයට කැඳවා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම අංග සම්පූර්ණ නව නිවස ලබාදෙන බව ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා අතින් සංජීවනීට නව නිවසේ අයිතිය බාරදුන්නේ ඇය අධ්‍යාපනය හදාරන බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේදී ය.

“ගඟක් නිකම්ම ගලාගෙන යන විට එහි ලස්සනක් නැහැ. එය බාධක මධ්‍යයේ ගමන් කරන විටයි එහි අලංකාරය පෙනෙන්නේ. අධ්‍යාපනය ලබද්දී ගැටලු බාධක මැද ඉදිරියට යන විට තමයි එහි වටිනාකමක් ලස්සනක් තියෙන්නේ. මං ඉදිරියට ආපු ගමන දිහා හැරිලා බැලුවහම ඒක ලස්සන කතාවක්” යනුවෙන් සංජීවනී ප්‍රියදර්ශනී ශිෂ්‍යාව ප්‍රකාශ කළේ නව නිවස ලබාදීම වෙනුවෙන් පාසලේදී පැවති උත්සවයේදී ය.
ඇය ප්‍රකාශ කරන විදියට ඇය විඳි දුෂ්කරතාවලට මුහුණ දෙමින් එමඟින් පන්නරය ලබමින් ඇය ලත් ජයග්‍රහණ ලස්සන කතාවකි.

සංජීවනීගේ නිවසට පිවිසෙන විට පාදයේ මඩ නොගෑවී ගමන් කිරීම ඉතා අසීරු ය. මඩ තිබෙන ඇතැම් ස්ථානවලින් එගොඩවීම සඳහා ගල්කැට තැනින් තැන තියා ඇත. ඇයගේ නිවස ආවරණය කර තිබෙන්නේ ලෑලිවලිනි. වහලට යොදා ඇති ටකරන් ඉතා අබලන් ය. 

තද වර්ෂාවක් ඉතා ටික වෙලාවක් පැවතුණහොත් ඒ නිවස ජලයෙන් යටවීමට පටන් ගන්නේය. එවැනි එක් අත්දැකීමකදී සංජීවනීට සිදුවූයේ මාස 3 ක් නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලැබීමට ය. 2011 වසරේ සංජීවනී උසස් පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටියදී ඇති වූ ගංවතුර හේතුවෙන් තම පොත් පත් ටික බේරාගැනීම සඳහා ජල රකුසා සමඟ පොර බැන්දාය. 

ඒ අවස්ථාවේ දී විෂ බීජයක් ශරීර ගතවීම නිසා සංජීවනී දැඩි ලෙස රෝගාතුර විය. ඒ නිසා ඇයට උසස් පෙළ ප්‍රතිඵල වශයෙන් ලබාගත හැකි වූයේ B සමාර්ථ 2 ක් හා C සාමාර්ථයක් පමණි. නමුත් නොපසුබට උත්සාහය අත් නොහැරිය සංජීවනී 2012 වර්ෂයේ උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන්’A’ සාමාර්ථ 3 ක් ලබාගෙන සරසවියේ දොරටුව අසලට පිවිස සිටී. සංජීවනී ගේ කතාව එතනින් අවසන් නැත. 

ඇය තවත් අභියෝගවලට මුහුණ දෙමින් ඒවා සාර්ථකව ජයග්‍රහණය කරමින් ඇයගේ කතාව ලස්සන කර ගත්තා ය. වරක් විභාගය ආසන්න වෙද්දී පාඩම් කරන විට තවත් නොසිතූ අත්දැකීමකට සංජීවනීට මුහුණදීමට සිදු විය. තමන්ට පාඩම් කිරීම සඳහා අවට නිවෙසක ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය බාධාවක් වූ නිසා එය අඩු කරන ලෙස සංජීවනී ඉල්ලා සිටීමට ගොස් ඇයටත් අසල්වාසී නිවෙසේ සාමාජිකයන්ටත් සිදුවූයේ පොලීසියේ සිටීමට ය. හෙට විභාග ප්‍රශ්න පත්‍රයකට මුහුණදීමට නියමිතව තිබියදී වෙනත් ළමයින් ආගමික ස්ථානවලින් ආශිර්වාද ලබාගන්නා විට සංජීවනී සිටියේ පොලිසියේ ය.

සංජීවනී Charted Accounted  විභාගයේ කටයුතුවල නිරතව සිටියදී ඇයගේ මව වන සුනේත්‍රා රූපසිංහ මහත්මිය උණු වතුර වැටීම නිසා දැඩි ලෙස පිලිස්සී රෝහල් ගත කෙරිණ. අම්මාට සාත්තු කිරීම සඳහා සංජීවනී රෝහලේ අම්මා ළඟ සිටි අතර ඇය විභාගය සඳහා පාඩම් කළේත්, විභාගය සඳහා පැමිණියේත් රෝහලේ සිට ය.

සංජීවනී නිවෙසෙහි පාඩම් කරන්නේ තාවකාලිකව අටවා ගත් මේසයක සිට ය. මේසයේ ලෑල්ල ලෑලි බිත්තියට හේත්තු කර තිබෙන අතර පාඩම් කරන වේලාවට පමණක් ලෑල්ල කෙලින්කර කකුල් 2 ක් සවිකර මේසය ප්‍රයෝජනයට ගනී. එසේ මේස ලෑල්ල බිත්තියට හේත්තු කර තිබෙන්නේ නිවසෙහි ඉඩ නොමැති නිසා ය.
 
“මගේ තාත්තා කරන්නේ කුලී වැඩ, අම්මා අසනීපයෙන්. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. ඒ ගොල්ලන්ට උගන්නන්න ඕන. මේ සේරම දේවල් තාත්තාගේ කුලී රස්සාවෙන් කරන්න බැහැ. මං සාමාන්‍ය පෙළ විභාගය කළාට පසුව ගෙදර නතර වෙලා මොකක් හරි රස්සාවක් කරන්න හිතුවේ. අපි ඉන්න මේ පැත්තේ ළමයින් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්නවයි කියන එකත් ලොකු දෙයක්. 

හුඟක් නංගිලා, මල්ලිලා ඉස්කෝලෙ යන්නේ නැහැ. පන්සලේ නායක හාමුදුරුවන් මට කිව්වා, අධ්‍යාපනය නවත්වන්න එපා කියලා. ඊට පස්සේ මං උපකාරක පන්ති පවත්වලා ඉතා සාධාරණ ලෙස සුළු මුදලක් උපයන්න තීරණය කළා. මගේ අසරණකම දැනගත්තු උදවිය මට උදව් කළා” යනුවෙන් සංජීවනී ප්‍රියදර්ශනී පවසන්නේ ඉතා හැඟුම්බරවයි.
මීට වසර 30, 40 කට පෙර ආර්.ආර්. සමරකෝන් නාට්‍යවේදියාගේ ‘කැලණි පාල වේදිකා නාට්‍යයේ සුරංගනී හා සිරිපාල තුළින් එදා පෙන්නුම් කළේ වර්තමානයේ සංජීවනීලා ය. කුලසේන ෆොන්සේකා ලේඛකයා රචනා කළ ‘පාලම යට’ නවකතාවේ ඩොටීගේ පුත් සෝමසිරි නියෝජනය කරන්නේ ද සංජීවනීලාගේ පරම්පරාවයි. 

කැලණි පාලම වේදිකා නාට්‍යයේ සුරංගනීට පාලම යටින් පැමිණීමට හැකිවුණා ද? සිරිපාලට පාලම යටින් ඉහළට පැමිණීමට හැකිවුණා ද? ‘පාලම යට’ නවකතාවේ සෝමසිරිට පාලම යටින් ඉහළට පැමිණීමට හැකි වුණා ද? ඔහුට තවත් විලී (වලහා) කෙනෙක් වීමට සිදුවුණා ද? මෙම ප්‍රශ්නවලට විසඳුම් ලැබුණත් නොලැබුණත්, මේ ප්‍රශ්න ගැන පුළුල් සමාජ කතිකාවතක් පැවතුණත් නැතත් සංජීවනී ප්‍රියදර්ශනී නම් පාලම යටින් පාලම උඩට පැමිණ ඇත. 

ඇය හා ඇයගේ පවුල බොරැල්ලේ සිංහපුර ජනසෙවණ මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් ලක්ෂ 35 ක වටිනාකමකින් යුත් නව නිවසට පැමිණියේ භෞතිකව වශයෙන් පමණක් ම නොවේ. සංජීවනී එම අභියෝග ජයගෙන පැමිණ ඇත්තේ තමා ඇතුළු පවුලේ ජීවන තත්ත්වය ද උසස් කර ගනිමිනි. 

මෙහි රහස සංජීවනී දැඩි කැපවීමෙන් ලබාගත් නිදහස් අධ්‍යාපනයේ ජයග්‍රහණයයි. අඩු ආදායම්ලාභී, අඩු පහසුකම් ජනාවාසවල සියලු දරුවන්ට සංජීවනී හොඳ ආදර්ශයක් ලබාදී ඇත. අඩු පහසුකම් ජනාවාසවලින් ගොඩඒමේ මාර්ගය සංජීවනී ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. එම නිසා සංජීවනී දකුණු කොරියාවේ සුජාත දියණියට වඩා අභීත දියණියකි.

“අඩු පහසුකම් ජනාවාසවල දරුවන්ගේ නැගිටීමේ ආදර්ශයේ සංකේතයක් බවට මේ සංජීවනී දියණිය පත් කළ යුතුයි. චංගුමීගේ ඡායාරූප නොවෙයි, සංජීවනීගේ ඡායාරූප පොත් කවරවල අලවන යුගය හදන්න අවශ්‍යයයි. සංජීවනී වගේ වෙන්න කියන පණිවිඩය අඩු පහසුකම් ජනාවාස දරුවන්ගේ පොත් කවරවලට ගේන්න ඕන” යනුවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේ සැබවින් ම සංජීවනී සුජාත දියණියටත් වඩා අභීත දියණියක් බැවිනි.

මං ගැන මාධ්‍ය මගින් දැකලා විමල් වීරවංශ ඇමැතිතුමා මටයි පවුලේ අයටයි අමාත්‍යාංශයට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අලුත් ගෙදරක් අපට දෙනවා කියලා ඇමතිතුමා කිව්වම මට අදහගන්න බැරි වුණා. 

මං හොඳට ඉගෙන ගන්නේ හොඳ රැකියාවක් කරලා ගෙයක් හදන්න. මගේ ජීවිත කාලය පුරා තිබුණු එම සිහිනය සතියක් ඇතුළත සැබෑවීම ගැන මට කියන්න වචන නැහැ. ඇමැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ඇතුළු කාර්යය මණ්ඩලය කඩිනමින් මට නව නිවස ලබාදුන්නා.

අතිගරු ජනාධිපතිතුමාටත්, විමල් වීරවංශ ඇමැතිතුමාටත්, මං ගැන රටට කියපු සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවලටත් නම් වශයෙන් කියන්න බැරි වුණත් උදව් උපකාර කළ සැමට බොහෝම ස්තුතියි” යනුවෙන් සංජීවනී ප්‍රියදර්ශනී ශිෂ්‍යාව තම ස්තුතිය ප්‍රකාශ කළේ හෘදයාංගමවයි. 

සංජීවනීගේ මව වන සුනේත්‍රා රූපසිංහ මහත්මියත්, පියාවන ජගත් කුමාර මහතාත් සියලු අඩු පහසුකම් ජනාවාසවල මවුපියන්ට ලබාදී ඇත්තේ ඉමහත් ආදර්ශයකි.

අඩු පහසුකම් ජනාවාසවල පවුල්වල ජන ජීවිතය ශක්තිමත් කිරීම සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ජනසෙවණ ස්වශක්ති මානව සංවර්ධන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඒ සඳහා තම උපරිම සහාය ලබාදීමට සංජීවනී ප්‍රියදර්ශනී ශිෂ්‍යාව ද ඉදිරිපත් වී සිටී. 

“මට අවශ්‍යයි අඩු පහසුකම් ජනාවාසවල නංගිලා, මල්ලිලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඒ සඳහා ජනසෙවණ මානව ස්වශක්ති වැඩසටහනින් සේවා රැසක් සිදු වෙනවා. මං ඉන්න සේදවත්තේ පාසල් ගොස් නිසි පරිදි අධ්‍යාපනය නොලබන නංගිලා, මල්ලිලාට ඉගැන්වීම සඳහා ප්‍රජා ශාලාවක් සකස් කරගෙන යනවා. 

ඒ සඳහා බොහෝ දෙනෙක් උදව් උපකාර කරනවා. මට ඕන මං හිටපු තැන ඉන්න නංගිලා, මල්ලිලා මටත් වඩා උසස් තැනකට ගෙන එන්න. මගේ ජයග්‍රහණය හා මට ලැබුණු ප්‍රතිචාර මාධ්‍ය මගින් දැක්ක සේදවත්තේ නංගි කෙනෙක් කරපු රස්සාව නවත්තලා යළිත් සාමාන්‍ය පෙළ විභාගය ලියන්න සූදානම් වෙනවා කියලා මට කිව්වා” සංජීවනී අවසන් වශයෙන් එසේ පැවසුවා ය. ඒ ආකාරයෙන් අඩු පහසුකම් ජනාවාසවල දරු දැරින් සිය දහස් ගණනින් සංජීවනී අනුගමනය කරනු ඇතැයි අපගේ ද ප්‍රාර්ථනයයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all