Photobucket

Monday, February 25, 2013

පෙම්වතුන්ගේ දිනය ලෙයින් තෙත් කළ පිස්ටෝරියස්ගේ ආදර කතාව

ඔබේ ප්‍රේමය වෙනුවෙන් හෙට මොනවද තෑගි කරන්නේ?’

පෙම්වතුන්ගේ දිනයට කලින් දවසේ දකුණු අප්‍රිකාවේ රූමත් මෝස්තර නිරූපන ශිල්පිනි රීවා ස්ටීන්කැම්ප් ‘ට්විටර්’ වෙබ් අඩවියේ දහස් සංඛ්‍යාත සිය මිතුරු මිතුරියන්ගෙන් එසේ විමසුවා.

‘හෙට දවස හැමෝටම ආදරේ ලැබෙන දවසක් විය යුතුයි.’ ඇය එහෙමත් ලියා තිබුණා.

ඇය දෙපා අහිමි ලෝක පූජිත මලල ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ගේ පෙම්වතියයි. දකුණු අප්‍රිකාවට වීරයෙක් වුණු ‘බ්ලේඩ් රනර්’ ලෙස ප්‍රකට පිස්ටෝරියස්ගේ ප්‍රේමය දිනාගැනීමෙන් පසුව සමරන මුල්ම පෙම්වතුන්ගේ දිනය උදාවනතුරු ඇය බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන බලාසිටියේ සිය ප්‍රේමවන්තයාටත් ආදරේ හිතෙන තෑග්ගක් දෙන්නයි. ඒත් ඊට කලින් දවසේ හැමෝටම ආදරේ ලැබෙන දවස ගැන කියූ 30 හැවිරිදි මේ නීති උපාධිධාරිනියට නම් පෙම්වතුන්ගේ දිනයේ දී ආදරේ වෙනුවට ලැබුණේ මරණයයි.

මිලිමීටර් 9 පිස්තෝලයකින් වැදුණු වෙඩි පහර 4 කින් ඇය ඝාතනයට ලක්වුණේ දකුණු අප්‍රිකාවේ පරිපාලන අගනුවර වූ ප්‍රිටෝරියා හී පිහිටි පිස්ටෝරියස්ගේ සුපිරි තෙමහල් මන්දිරයේ දියි. තම නිවෙසට පැමිණි පිටස්තර පුද්ගලයකු ලෙස වරදවා වටහාගත් පිස්ටෝරියස් විසින් ඇයට වෙඩි තැබූ බවයි මුලින්ම කියැවුණේ.

සැකපිට අත්අඩංගුවට පත්වුණු පිස්ටෝරියස් උසාවියට ඉදිරිපත් කළ පළමු දිනයේ දී සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් මහ හඬින් හඬා වැටුණා. ඔහු දැඩි ලෙස කම්පනයට පත්වෙලයි සිටියේ.

ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහු වෙනුවෙන් නැගී සිටියා. තම පුතා අතින් දැනුවත්ව කිසිදු වරදක් වුණේ නැති බවයි පිස්ටෝරියස්ගේ පියා කිව්වේ. පෙම්වතුන්ගේ දිනය උදාවී පැය කීපයකට පස්සේ රීවාට වෙඩි වැදීමෙන් පසු හරියටම පාන්දර 4ට පිස්ටෝරියස් මුලින්ම දුරකතන ඇමතුමක් දුන්නේ ඔහුගේ පියාටයි. ඒත් බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත්පත් පවසන්නේ ඊට කලින් පිස්ටෝරියස් ඔහුගේ මිතුරකුට දුරකතන ඇමැතුමක් ලබාදුන් බවයි. ‘මම ඇයව මැරුවා. දෙවියනි මාව ඉවතට ගෙනියන්න’ ඔහු හඬමින් සිය මිතුරාට එසේ පවසා ඇතැයි බ්‍රිතාන්‍ය පුවත්පත් සඳහන් කළා.

කොහොම වුනත් දවසින් දවස පිස්ටෝරියස්ට එරෙහිව සාක්ෂි හා ප්‍රකාශ එකතුවෙන්න පටන්ගත්තේ හරියට චිත්‍රපටයක සිදුවීම් පෙළක් වාගෙයි. කලින් දවසේ රාත්‍රියේ සිටම පිස්ටෝරියස්ගේ නිවෙසින් කෝලහාලයක ශබ්ද ඇසුණු බව ඔහුගේ අසල්වාසීන් පොලිසියට පැවසුවා.

ඔහුගේ නිවෙසේ ප්‍රධාන දොරටුවේ සවිකොට තිබෙන සී. සී. ටී. වී. කැමරාවේ සටහන් වී තිබුණු විදිහට රීවා ඔහුගේ නිවෙසට පැමිණ ඇත්තේ කලින් දවසේ සවස 6ට විතර. එදා රාත්‍රියේ දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවුණා ද කියලා පොලිසිය සැක කරනවා.

රීවාගේ හිසට, උරහිසට, අතකට හා උකුල් පෙදෙසට වෙඩි වැදී තිබුණා. ඇයට වෙඩි තැබූ පිස්තෝලයේ රඳවනය පිස්ටෝරියස්ගේ ඇඳේ තිබුණු අතර හිස් පතරොම් කොපුවක් නිදන කාමරයේ බිම තිබිලා පොලිසිය සොයාගත්තා. ඉතිරි වෙඩි පහර තුනම වැදී තිබුණේ නාන කාමරයේ දොර පසාරු කරගෙනයි. ඒ අනුව පොලිසිය අනුමාන කරන්නේ ඇයට පළමු වෙඩි පහර වැදී ඇත්තේ ඇඳේදී බවයි. පසුව වෙඩි පහර දරාගෙනම ඇය ජීවිත ආරක්ෂාවට නාන කාමරයට ඇතුළු වි දොර වසාගන්නට ඇති බවයි. ඇගේ අතකට වෙඩි වැදී ඇත්තේ හිස බේරාගැනීමට ඇය අත් දෙක හිස මත තබාගැනීමේ හේතුවෙන් බවත් පොලිසිය කියනවා.

ඒ අතර පිස්ටෝරියස්ගේ නිදන කාමරයේ තිබි ලේ තැවරුණු ක්‍රිකට් පිත්තකුත් පොලිසිය සොයාගත්තා. එය ජීවිතාරක්ෂාව තකා ඇය විසින් භාවිතා කරනු ලැබුවක් ද, එසේ නැත්නම් ඇයට පහරදීමට පිස්ටෝරියස් උපයෝගි කරගත් එකක්දැයි යන්න පොලිසිය සොයන්න ගත්තා. මේ සම්බන්ධව පොලිසිය කරුණු කීපයක් ඔස්සේ පරික්ෂණ පවත්වනවා. ඇතැම්විට වෙඩි වැදුණු සිය පෙම්වතිය බේරාගැනීමට පිස්ටෝරියස් මේ ක්‍රිකට් පිත්ත භාවිතා කළා විය හැකි බවටත් තර්කයක් මතුවුණා. ඊට හේතුව නාන කාමරයේ දොර වෙඩි පහරවල්වලට අමතරව කඩා බිඳ දැමීමකටත් ලක්වී තිබීමයි.

ඒ අතර තවත් තර්කයක් මතුවුණා. ඉන් කියැවුණේ නිදන කාමරයේ දී අහම්බෙන් ඔහු අතින් වෙඩි වැදී ඇය නාන කාමරයට පලා යන්නට ඇති බවයි. අනතුරුව ඇය බේරාගැනීමේ අදහසින් නාන කාමරයේ අගුළු බිඳීමට ඔහු එල්ල කළ සෙසු වෙඩි පහරවල් ඇයට වැදෙන්නට ඇති බවට තර්කයක් ගොඩනැඟී තිබුණා. පිස්ටෝරියස්ගේ පියා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් විශ්වාස කරන්නේත් එයමයි.

ඔය අතරේ දී පිස්ටෝරියස්ගේ නිවෙසේ තිබී තහනම් ඖෂධ වර්ගයක් පොලීසිය සොයාගත්තා. ඒ අනුව තහනම් ඖෂධ වර්ගය භාවිතා කිරීමෙන් පසුව පෙම්වතිය ඝාතනය කළාදැයි සොයන්න ඔහුව පරීක්‍ෂණයකටත් භාජනය කළා.

කොහොම වුණත් පිස්ටෝරියස් සම්බන්ධව ගොඩනැගී ඇති සියලු කරුණු ඔහුගේ කීර්තිමත් ක්‍රීඩා දිවියට ඉතා හානිකර එකක් වුණා. ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වී ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කළ ලොව මුල්ම දෙපා අහිමි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූ පිස්ටෝරියස්, පැරාලිම්පික් තරග අංශ කීපයකම වාර්තා තැබූ ක්‍රීඩකයෙක්. එවැනි විශිෂ්ට ක්‍රීඩා දිවියකට හිමිකම් කියන පිස්ටෝරියස්ගේ මුළු ජීවිතයම මේ සිදුවීම නිසා අඳුරට තල්ලු වුණා. 

ඔහු ගතකළ ජීවිතය ගැනත් දැන් කරුණු හෙළිවෙන්නට පටන් අරගෙන. නිතරම අවිශ්වාසයෙන් පෙළෙන පුද්ගලයෙක් විදිහටයි මිනිස්සු ඔහු ගැන කතා කරන්නේ. ඔහුගේ මන්දිරයේ නිදන ඇඳ අසල පිස්තෝලයකුත්, කාමරයේ ජනේලය අසල මැෂින් තුවක්කුවකුත් ඇති බවත් ඊට අමතරව තවත් අවි ආයුධ ළඟ තබාගැනීමට ඉල්ලුම්පත් 7 ක්ම ඔහු යවා ඇති බවත් වාර්තා වුණා. ඔහුට එතරම් අවි ආයුධ කුමකටදැයි මිනිසුන් විමතිය පළ කරනවා. කොහොම වුණත් අපරාධ සම්බන්ධව ලොව වැඩිම ප්‍රතිශතයකට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ ජනතාව නිරතුරුවම සිය ජීවිත ආරක්ෂාව පිණිස අවි ආයුධ භාවිතා කිරීම සාමාන්‍ය දෙයක්.

ප්‍රේමය සම්බන්ධයෙනුත් ඔහුට ඇත්තේ එතරම් හොඳ චරිත සහතිකයක් නම් නෙවෙයි. 26 හැවිරිදි පිස්ටෝරියස් රීවාට කලින් සහ ඇය හා පෙම් කරමින් සිටියදීත් තවත් කාන්තාවන් ගණනාවක් එක්ක ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව හෙළිවුණා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all