Photobucket

Sunday, February 24, 2013

දුව වැඩි වේලාවක් කන්නාඩිය ඉදිරියේ කියා අම්මා කලබල විය යුතු නෑ

යෞවන යෞවනියන් විශාල වශයෙන් මානසික, ශාරීරික වෙන්ම සමාජයීය ගැටලුවලට ගොදුරු වෙනවා. ඔවුන් පිළිබඳව ප්‍රමාණවත් තරම් වැඩිහිටි අවධානය යොමු නොවීමත් සමඟම ඔවුන් ඉහත කී ගැටලුවලට වැඩි වැඩියෙන් ගොදුරු වීමත් ඒ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට නොහැකිව මානසිකව මෙන්ම කායික වශයෙන් ද දැඩි පීඩාවට පත්වීමත් සිදුවෙනවා.

 යෞවනයන් මුහුණපාන එම ගැටලු හා අභියෝගවලට මුහුණ දීමට ශක්තියක් නැතිකමින් දිවි නසාගන්නා අවස්ථා අද සමාජයේ බහුලයි. දරුවන් යෞවනයන් බවට පත්වීමේදී ඔවුන්ට ජීව විද්‍යාත්මකව මුහුණ දීමට සිදුවන වෙනස්කම් හා සමාජයීය වශයෙන් මුහුණදීමට සිදුවන වෙනස්කම් පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොතිබීම ඊට ප්‍රධාන හේතුවක් වන බව හඳුනාගෙන තිබෙනවා.

මවුපියන් ළමයින් වෙත දක්වන සැලකිල්ලත් අවධානයත් ඔවුන් යෞවන වියට පත්වීමත් සමඟ ක්‍රමයෙන් හීනවෙනවා.

වයස අවුරුදු 10 – 19 අතර වයස් කාණ්ඩය යෞවන විය ලෙසත් 15 – 24 දක්වා වයස් කාණ්ඩය තාරුණ්‍යය ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කොට තිබෙනවා. ළමයින් කුඩා දරුවන් ලෙස සලකා ඔවුන්ගේ පෝෂණ තත්ත්වය, වර්ධනය, ආදරය, කරුණාව හා රැකවරණය පිළිබඳ බෙහෙවින් උනන්දු වන මවුපියන් ළමයා වයස අවුරුදු දහය දොළහ වන විට “දැන් ඔයා ලොකුයි, තනියම වැඩකරගන්න පුළුවන්” කියමින් ඔවුන් පිළිබඳව පෙර දැක්වූ අවධානය ක්‍රමයෙන් අඩු කරනවා.

දරුවාගේ පෝෂණය පිළිබඳව වුවත් පෙර තිබූ සැලකිල්ල අඩු කරනවා. “ඔයාට දැන් තනියම කන්න පුළුවන්” කියමින් දරුවාට ඕනෑ විදිහට කෑමට බීමට ඉඩහරිනවා. දවසේ වැය කරන ශක්තියේ තරමට ඔහුට හෝ ඇයට ප්‍රමාණවත් තරම් සමබල පෝෂ්‍යදායී ආහාර පාන ලබාගන්නවාදැයි සෙවීමට මවුපියන් උනන්දු වන්නේ නෑ.

යොවුන් වියට එළැඹෙන දරුවාට ඇති ශාරීරික හා මානසික ගැටලු වැඩියි. ඔවුන් ඒ පිළිබඳව සැබෑ තොරතුරු හා විසඳුම් පතන්නේ මවුපියන් වැඩිහිටියන් වෙතින්. එහෙත් යෞවනයන්ගේ ගැටලු විසඳාදෙන්නට හෝ ඔවුනට ඇහුම්කන් දෙන්නට මවුපියන්ට වැඩිහිටියන්ට වේලාවක් නෑ. නැතිනම් ඕනෑකමක් නෑ.

එතැනදී අසරණ වන යෞවන යෞවනියන් ඔවුන් මුහුණ පාන ගැටලුවලට විසඳුම් සොයා යන්නේ බොහෝ විට තමාට නොගැළපෙන පාර්ශ්වයන් වෙත. නැතිනම් සම වයස් මිතුරු මිතුරියන් වෙත. මේ නොමේරූ උපදේශකයන් දෙන උපදෙස් පිළිපදින්නට යෑමෙන් ඔවුන් තව තවත් අසරණ වෙනවා.

වයස අවුරුදු 10 – 14 අතර පසුවන්නන් යොවුන් වියේ මුල් අවධියටත් 15 – 19 ත් අතර නම් මැද අවධියටත් 20 – 24 අතර නම් අවසන් අවධියටත් අයත් වෙනවා. යොවුන් වියේ මුල් අවධියේ දී ළමා කාලයේ ඔබ වෙතින් දක්නට නොලැබුණු පෙනුමක් ලස්සනක් පැහැපත් බවක් ගැහැනු දරුවකු නම් ඔබට දක්නට ලැබෙනවා.

ඔබ පිරිමි දරුවකු නම් මේ කාලයේ දී ඔබගේ මුහුණේ යන්තම් දැලි රැවුලක් වැවීගෙන එන බවක්, උගුරු ඇටය (ස්වරාලය) ඉදිරියට නෙරා එන බවක් ඇතැම් විට මුහුණේ කුරුලෑවක් දෙකක් එන බවක් ඔබ දකිනු ඇති. ඒ වෙනස්කම් පිරිමි සහ ගැහැනු දරුවන්ට වෙන වෙනම ඇති වෙනවා. එම ලක්ෂණ ද්විතීයක ලිංගික ලක්ෂණ ලෙස හැඳින්වෙනවා.

ගැහැනු ළමයින් නම් උසින් හා බරින් වැඩි වීම, පියයුරු ක්‍රමයෙන් ඉදිරියට නෙරා ඒම, ලිංගේන්ද්‍රිය අවට හා කිහිලිවල රෝම ඇතිවීම, වැඩිපුර දහදිය දැමීම, උකුළ පළල් වීම, කලවා මහත් වීම, ලිංගේන්ද්‍රිය විශාල වීම, මුහුණේ කුරුලෑ ඇති වීම, යෝනි ශ්‍රාව ඇතිවීම හා ඔසප් වීම ඇරඹීම වැනි වෙනස්කම් ඇතිවෙනවා.

පිරිමි ළමයින්ගේ නම් උසින් හා බරින් වැඩිවීම, මස්පිඬු වැඩීම, උරහිස් පළල් වීම, ස්වරාලය ඉදිරියට නෙරා ඒම, කටහඬ ගොරෝසු වීම, කිහිලි, පපුව සහ ලිංගේන්ද්‍රිය අවට රෝම ඇතිවීම, වැඩිපුර දහදිය දැමීම, ලිංගේන්ද්‍රිය ප්‍රමාණයෙන් විශාල වීම, මුහුණේ කුරුලෑ ඇතිවීම සහ ශුක්‍ර මෝචනය ඇරැඹීම වැනි ලක්ෂණ පහළ වෙනවා.

ඉහත කී ලක්ෂණ සියල්ල එකවර පහළ වන්නේ නෑ. මේවා මඳින් මඳ වරින් වර ඇතිවෙනවා. එකම වයසේ ළමුන් දෙදෙනකු තුළ මේ ලක්ෂණ පහළ වන ආකාරය වෙනස් විය හැකියි.

හෝර්මෝන යනු ඉතා ප්‍රබල රසායන ද්‍රව්‍යයක්. මෙම රසායන රුධිරයට එකතු වන්නේ නිර්නාල ග්‍රන්ථි නම් වූ ඉතා කුඩා ග්‍රන්ථි පද්ධතියක් මඟින්. මේ හෝර්මෝනවලින් කොටසක් ලිංගික හෝර්මෝන. යෞවනයේ දී ඔබේ සිරුරෙහි ඇති වන වෙනස්කම් බොහොමයකට වගේම ලිංගික මේරීමට හේතුවන්නේ හෝර්මෝන.
පිරිමි ළමයින්ගේ පුරුෂ හෝර්මෝන වන පුරුෂ ලිංගික හෝර්මෝන ගැහැනු දරුවන්ගේ ස්ත්‍රී ලිංගික හෝර්මෝන වන ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රජන් හෝර්මෝන.

ඒ හෝර්මෝන ශ්‍රාවය වීමට අණදෙන ඉන්ද්‍රිය වන්නේ මොළයේ පතුල කොටසේ පිහිටි පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථියේ අණ දීම අනුව ගැහැනු දරුවාගේ ප්‍රධාන ලිංගික ග්‍රන්ථිය වන ඩිම්බ කෝෂය විශාල වීම හා මේරීම සිදු වෙනවා. එය බාහිරව දක්නට ලැබෙන්නේ නෑ. ඒත් පිරිමි දරුවන් අතර සිදුවන මේ ක්‍රියාවලියේදී ස්ත්‍රී ඩිම්බ කෝෂයට සමාන වූ වෘෂණ විශාල වීම හා මේරීම සිදු වෙනවා.

මේරූ ඩිම්බ කෝෂ හේතුකොටගෙන එක් අතකින් ස්ත්‍රී බීජ නොහොත් ඩිම්බයක් දින 24 හෝ දින 31 කට වරක් ඩිම්බ කෝෂයකින් පිට වෙනවා. ඩිම්බය මෝචනය වීමත් සමඟ ලිංගික හෝර්මෝනවල බලපෑම අනුව ගර්භාෂයේ ඇතුළු ආවරණය ගන වෙනවා. එසේ වන්නේ ගර්භයක් ඇතිවුවහොත් ඒ ගර්භ කළලය වැඩීමට අවශ්‍ය වටපිටාවක් සැපයීමට සහ එය පෝෂණය කිරීමටයි.

ගර්භයක් හට නොගත්තේ නම් මේ ආවරණය බිඳ වැටී රුධිරය පිට වීම ඔසප් වීම යනුවෙන් හඳුන්වනවා. ගර්භයක් හට ගත් විට ගර්භාෂයේ ඇතුළු ආවරණයේ මතුපිට කොටස බිඳ වැටෙනවා වෙනුවට කළලය පෝෂණය කිරීම සඳහා තව තවත් ගන වෙමින් වැඩෙනවා. දරු ගැබක් ඇති කාලය පුරාම ඔසප් වීමක් සිදු වන්නේ නෑ.

යෞවනයේ දී ඇති වන ස්වභාවික ශාරීරික වෙනස්කම් ඉහත දැක්වූ ආකාරයට සිදු වෙන අතරම මානසික වර්ධනයෙහිත් විශාල වෙනසක් සිදු වෙනවා. මේ අවධියේදී ගැහැනු ළමයින් වුවත් පිරිමි ළමයින් වුවත් “තමා” ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නට පටන් ගන්නවා.

ගැහැනු ළමයින් නම් තමාගේ සම වයස් මිතුරියන් ගේ වර්ධනය පෙනුම හෝ වැඩිවිය පත්වීම තමා සමඟ සසඳා බලනවා. පිරිමි ළමයින් වුවත් සම වයසේ මිතුරන් ගේ ශාරීරික වෙනස්කම් තමාට ද ඒ අයුරින්ම සිදු නොවුණ හොත් කලබලයටත් අසහනයටත් පත් වෙනවා.

තමාගේ පෙනුම දැලි රැවුල වැඩීම කටහඬ වෙනස් වීම වැනි කරුණු ගැන පමණට වඩා කරදර වෙනවා. ගැහැනු පිරිමි දෙපක්ෂයම මුහුණේ කුරුලෑ මතු වීම, තම සිරුරේ ප්‍රමාණය වැනි සුළු කරුණු ගැන පමණට වඩා වෙහෙසෙනවා. මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන ලක්ෂණ. එහෙයින් ඒ ගැන කලබල විය යුතු නෑ. තමාගේ දරුවා පෙරට වඩා වැඩි කාලයක් කන්නාඩිය ඉදිරියේ රැඳී සිටීම මවුපියන් ගැටලුවක් කර ගත යුතු නෑ. පුංචි කාලෙ වගේ අම්මා තාත්තා සමඟ හුරතල් වෙනවට වඩා ඔවුන් තනිවම තමන්ගේ ලෝකවල සැරිසරන්නට කැමතියි. ඒත් වෙනදාට වඩා ඔවුන් ගැන සැලකිලිමත් වීම වැදගත්.

යොවුන් සිරුර වගේම මනසත් වේගයෙන් වර්ධනය සිදු වෙනවා. එහෙත් වයස අවුරුදු 10 - 15 අතර කාලයේ යෞවනයට අනාගතය පිළිබඳ දුර සිතාගන්නට හෝ ජීවිතය පිළිබඳ සැලසුම් තනා ගන්නට තරම් මනස මෝරා නෑ. වයස අවුරුදු 15 - 17 කාලයේ යම් කිසි දෙයක් පිළිබඳ ගැඹුරින් සිතීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ජීවිතය පිළිබඳ සැලසුම් හදා ගන්නට ද හැකියාව ලැබෙනවා. එහෙත් මානසිකව පීඩනයට පත්වූ කල ඒ තත්ත්වය නැතිව යනවා. මේ තත්ත්වය වැඩිහිටියන් හොඳින් වටහා ගෙන ඔවුන් ගේ ගැටලු විසඳා ගන්නට ශක්තියක් විය යුතුයි.

15 - 17 කාලයේ දී යෞවනයන් සිහින ලෝකවලට පිවිසෙනවා. පේ‍්‍රමය හෝ විභාග පරාජය වැනි හේතුවෙන් මේ සිහින බිඳ වැටෙන විට ඔවුන් දැඩි ලෙස කම්පනයට පත් වෙනවා. දරුවාගේ මනස වටහා ගෙන ඔහුට දයාවෙන් ඇහුම්කන් දීමෙන් ආදරය කරුණාව දැක්වීමෙන් මේ කම්පනයෙන් ඔවුන් මුදා ගන්නට, ජීවිතයේ අභියෝගවලට දිරියෙන් මුහුණ දෙන්නට ඔවුන්ට ශක්තියක් වීම වැඩිහිටියන් ගේ යුතුකමයි.

ලංකාවේ යෞවනයන් අතර හඳුනාගෙන ඇති සෞඛ්‍ය ගැටලු අතර මන්දපෝෂණය වගේම අධි පෝෂණය ප්‍රධානයි. මේ ගැටලු දෙකම විසඳා ගන්නට නම් දරුවාට කුඩා කල සිටම පෝෂ්‍යදායි සමබල ආහාර, ක්‍රියාශීලී දිවි පෙවෙතක්, ආදරය සහ අවධානය ලබාදීම අත්‍යවශ්‍යයි. දැනට සොයාගෙන ඇති කරුණු අනුව ලංකාවේ දැරියන් වැඩිවියට පත් වීමේ වයස් සීමාව ක්‍රමයෙන් අඩු වී යයි. ඊට වර්තමාන කෘත්‍රිම ආහාර හා ජීවන රටා බලපා ඇතැයි කිව හැකියි.

එමෙන්ම අධ්‍යාපනය, ආර්ථික ප්‍රශ්න වැනි විවිධ හේතු මත තරුණියන්ගේ විවාහ වන වයස් සීමාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. මේ හේතුවෙන්ම නිරෝගී දරුවන් බිහි කිරීම සඳහා කාන්තාවකට සුදුසුම වයස් සීමාව ඉක්මවා යෑම නිසා මද සරු භාවය දරු ඵල අහිමි වීම වැනි ගැටලු ද පැන නැඟ තිබෙනවා.

යොවුන් හා තරුණ අවදියේ ඇතිවන ස්වභාවික ලිංගික උත්තේජනය හේතුකොට ගෙන වත්මන් තරුණ තරුණියන් අතර ලිංගික සබඳතා ද ඒ හේතුවෙන්ම අනපේක්ෂිත ගැබ් ගැනීම් ද වැඩි වී තිබෙනවා.

ලිංගිකත්වය පිළිබඳ නිවැරැදි දැනුමක් නැතිවීමෙන්ම අඩු වයසින් ගර්භණී භාවයට පත්වීම ද වැඩි වෙමින් පවතිනවා. නොදැනුවත්කම හේතුවෙන් එසේ අඩු වයසින් හට ගන්නා ගර්භයන් විනාශ කිරීමට යාමෙන් සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව ද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ඒ හේතුවෙන්ම තරුණයන්ගේ සිය දිවි නසා ගැනීම් ද වර්ධනයක් දැකිය හැකිය.

වර්තමානයේ සිදුවන යෞවන මරණවලින් සියයට 20 ක්ම සිදු වන්නේ අනවසර ගබ්සා හේතුවෙන් වාර්තා වන සංඛ්‍යාව මෙය වුවත් වාර්තා නොවන සංඛ්‍යාව මීට වැඩි විය හැකිය. ඒ සඳහා ක්ෂණික විසඳුම් සොයනු වෙනුවට දිගු කාලීන පිළියම් යෙදිය යුතුය.

ළමයින්ට නිසි වයසේ දී සිටම ජීවිතයේ ස්වභාවික වෙනස්කම් හා ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක් ලබාදීම, ඔවුනට නිසි පෝෂණය, ක්‍රියාකාරකම් සහ නිසි රැකවරණය සලසා දීම මඟින් අවබෝධයෙන් යුතු නිරෝගී යොවුන් පරපුරක් බිහි කිරීමට කටයුතු සැලැස්වීම මෙම බරපතළ සමාජයීය හා සෞඛ්‍ය ගැටලුවට ඇති දිගු කාලීන වූත් තිරසාර වූත් පිළියමයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all