Photobucket

Sunday, February 24, 2013

ක්‍රීඩාව අනිවාර්ය විෂයයක් කිරීමේ තීරණයට විශාඛා විදුහල්පතිනියගෙන් බලවත් ප්‍රසාදය

පාසල් විෂයය පථයට ක්‍රීඩාව එක්කිරීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයට කොළඹ විශාඛා විදුහලේ විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොල මහත්මිය ප්‍රසාදය පළ කරයි. ක්‍රීඩාව දරු දැරියන්ට අනිවාර්ය කිරීමෙන් යහපත් සමාජයක් බිහිවන බව අවිරුප්පොල මහත්මිය සඳහන් කරයි.

විශාඛා විදුහලේ ඊයේ පැවැති ප්‍රාථමික ක්‍රීඩා උලෙළේ විශේෂ දේශනය කරමින් විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය ඒ බව පැවසුවාය.

“ක්‍රීඩාව සඳහා දරුවෙකු යොමු කළ යුතු හොඳම කාලය ප්‍රාථමික අවධියයි. ඉහළ පන්තිවලට යෑමේදී අධ්‍යාපනික කටයුතු සඳහා දරුවන් ප්‍රමුඛත්වයක් දෙන නිසා කුඩා කාලයේදීම ක්‍රීඩා කුසලතා හඳුනා ගැනීම වැදගත් ක්‍රීඩාව සඳහා දරුවන් යොමු කිරීමෙන් සමබර පෞරුෂයක් මෙන්ම ජය පරාජය සමව විදීමේ හැකියාව ජීවිතයට ලැබෙනවා. 

එමෙන්ම යහපත් ආකල්ප, දරා ගැනීමේ ශක්තිය නිරායාසයෙන්ම ලැබෙනවා. දරුවන් තුළින් සබකෝලය ඈත් වෙනවා පමණක් නොවෙයි ක්‍රීඩාව තුළින් ලෙඩ රෝග නැතිවී යනවා” යැයි විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය පැවැසුවාය. 

එබැවින් උසස් දරුවෙකු නිර්මාණය කරගැනීමට අධ්‍යාපන රටාවේ ක්‍රීඩාව අනිවාර්ය කිරීමට ගත් උත්සහය අගය කළ යුතු බව අවිරුප්පොල මහත්මිය වැ‍ඩිදුරටත් පැවැසුවාය. කොළඹ විශාඛා විදුහලේ නව ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රාථමික ක්‍රීඩා උලෙළ සාර්ථකව පැවැත්වීමට හැකිවු බව ප්‍රාථමික අංශ භාර මුදිතා මදනායක මහත්මිය පැවැසුවාය.

විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මියගේ ආරාධනාවෙන් මේ ක්‍රීඩා උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආදි ශිෂ්‍ය නීතිඥ කීර්තිමාලා ගුණසේකර මහත්මිය එක්වුවාය. ක්‍රීඩා උලෙළේදී මීටර් 100, මීටර් 75, මීටර් 50 ධාවන තරග හා කණ්ඩායම් තරග රැසක් පැවැත්වුණි. එමෙන්ම ගුරුවරිය‍න්ගේ හා මව්පියන්ගේ තරග කිහිපයක්ද සංවිධානය වී තිබුණි.

සරඹ සංදර්ශණ, තූර්ය වාදන වලින් ක්‍රීඩා උලෙළ අලංකාර විය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all