Photobucket

Monday, February 25, 2013

සුරංගනා කතාවකට නව අරුතක්

ජර්මනියේ මුඛ පරම්පරාවෙන් පැවත ආ සුරංගනා කතාවක් 1812 ග්‍රිම් සොහොයුරන් අතින් ලේඛනගත කෙරිණි. ඉන් කියැවුණේ මිනී මස් බුදින මන්ත්‍රකාරියකගේ ග්‍රහණයට හසුව ගැලවී එන කුඩා සොහොයුරකු හා සොහොයුරියක පිළිබඳ පුවතකි. එම සුරංගනා කතාව කාටූන් ලෙස රූපවාහිනියටත් චිත්‍රපට ලෙස සිනමාවටත් කිහිප වාරයක්ම නැඟී තිබේ.

එහෙත් පසුගිය ජනවාරි 25 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය වන ‘හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල්’ චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ එම සුරංගනා කතාවට නව අරුතක් සපයමිනි. මිනිත්තු 66ක ධාවන කාලයකින් යුක්තව ඩොලර් ලක්ෂ 600ක වියදමින් තැනුණු මෙම චිත්‍රපටයේ හැන්සල් සහ ග්‍රේට්ල් කුඩා දරුවන් නොව තුරුණු වියේ පසුවන සොයුරු සොයුරියන්ය.

සුරංගනා කතාවේ පරිදි ජින්ජර් බ්‍රෙඩ් නිවහනේ මිනීමස් බුදින මන්ත්‍රකාරිය ඔවුන් දෙදෙනාට හමුවීමෙන් වසර පහළොවකට පසු චිත්‍රපටයේ කතාව ඇරැඹෙයි. මන්ත්‍රකාරියන්ට දැඩිව වෛර කරන තරුණ සොහොයුරු සොහොයුරි දෙපළ ඒ වන විට මන්ත්‍රකාරියන් දඩයම් කරන්නන් බවට පත්ව සිටිති. නවීන ආයුධවලින් සන්නද්ධව සිටින ඔවුහු තම කාර්යය පිළිබඳ මහත් ජනප්‍රියත්වයක් ද අත්කරගෙන සිටිති. නොදන්නා හේතුවක් නිසා ඔවුනට මන්ත්‍රකාරියන්ගෙ සාපයන්ගෙන්, අණවින හදි හූනියම්වලින් හානියක් සිදු වන්නේ ද නැත.

ජර්මනියේ ඔගස්බර්ග් හි නගරාධිපතිවරයා හැන්සල් සහ ග්‍රේට්ල්ව කැඳවන්නේ නගරයට නුදුරු වනාන්තරයේ වෙසෙන කෲර හා බිහිසුණු මියුරියල් නමැති මන්ත්‍රකාරිය විනාශ කරනු පිණිසය. ඔවුන් ඔගස්බර්ග් වෙත පැමිණි දිනට දෙදිනකට පසු එළඹෙන ‘සඳ ලේ රතු පැහැ ගැන්වෙන’ රාත්‍රියේ පැවැත්වෙන මන්ත්‍රකාරියන්ගේ සමුළුවකදී ප්‍රදේශයේ කුඩා ළමයින් පිරිසක් බිලි දීම මියුරියල් ගේ අරමුණ වෙයි.

හැන්සල් හා ග්‍රේට්ල් තවත් අභියෝගයකට මුහුණ දෙන්නේ ඔග්ස්බර්ග් නගරයේ පාලනය කෲර ෂෙරීෆ්වරයකු හා මන්ත්‍රකාරියන්ට සහාය පළ කරන්නකු වූ බෙරින්ජර් අතට පත්වීමත් සමඟිනි.

සියලු අභියෝග පරයා තම කීර්තිය රැකගන්නට, ඔග්ස්බර්ග් හි දරුවන් බේරාගන්නට හැන්සල් හා ග්‍රේට්ල් සමත් වේවිද?

හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල් විච් හන්ටර්ස් ත්‍රිමාන සිනමා පටය ටොමී මිර්ෆේලා හා පල් ෆෙරෙල් එක්ව අධ්‍යක්ෂණය කර තිබේ. එහි තිර රචනය සැකසී ඇත්තේ ටොමී මිර්ෆේලා සහ ඩී.ඩබ්ලිව්.හාපර් අතිනි. ජෙරමි රෙනර් හැන්සල් ලෙස ද ගෙමා ආර්ටෙර්ටන් ග්‍රේට්ල් ලෙස ද රඟන මෙහි මියුරියල් නමැති මන්ත්‍රකාරිය ලෙස ෆැම්කේ ජැන්සෙන් ද බෙරින්ජර් නමැති ෂෙරීෆ්වරයා ලෙස පීටර් ස්ටොර්මේකර් ද රඟපාති.

ත්‍රාසජනක දර්ශන සපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් වන ‘හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල්’ සුරංගනා කතාවක් පසුබිම් කරගත්ත ද ළමා චිත්‍රපටයක් නම් නොවේ. මේ වන විට එය ශ්‍රීී ලංකාව ඇතුළු බොහෝ රටවල සාර්ථකව තිර ගත වෙමින් තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all