Photobucket

Saturday, February 23, 2013

විදුහල්පතිනිය නිදහස්‌ : ජංගම දුරකතනය ගස්‌

මිනුවන්ගොඩ පාසල් දැරියගේ ඛේදවාචකය....

සියදිවි නසා ගැනීමක්‌ යනු පෞද්ගලික දෙයකැයි කෙනෙකුට තර්ක කළ හැක. ජීවිතයට මුහුණ දෙන්නට නොහැකිකම නිසා කරගත් මෝඩකමකැයි කියාද තර්ක කළ හැක.

එහෙත් ඔහුට හෝ ඇයට දිවි නසා ගැනීමට බලකරනු ලැබූ වටපිටාවක්‌ ඇති කරවනු ලැබ, කෙනෙකු දිවි නසා ගත්තේ නම් ඒ දිවි නසා ගැනීම ගැන අප බැරෑරුම් ලෙස කතා කළ යුතුය.

මේ එවන් කතාවකි.

ඇය මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි. ජනවාරි මාසය සාමාන්‍යයෙන් පාසල්වල ක්‍රීඩා උත්සව පැවැත්වෙන කාලයයි.

අප කතා නායිකාව වන නිෂාදි මහේෂිකා ගේ ඉරණම තීන්දු කරන්නේ මේ ක්‍රීඩා උත්සවයයි. ඊට ආසන්නම සාධකය වන්නේ හෑන්ඩ් පෝනයයි.

ක්‍රීඩා උත්සවය පැවැත්වූයේ පාසල් ක්‍රීඩාංගණයේ නොව වෙනත් ක්‍රීඩාපිsටියකය. ඈ ක්‍රීඩා පිටියට ගියේ හෑන්ඩ් පෝනයත් රැගෙනය. පාසල් ගමනට හෑන්ඩ් පෝන් තහනම් නොවේ දැයි මව ඇගෙන් විමසුවාය.

එන්න රෑ වුණොත් තාත්තාට කෝල් එකක්‌ දෙනු පිණිස යෑයි ඈ ඊට පිළිතුරු ලෙස කීවාය.

එහෙත් සිදු වූයේ බලාපොරොත්තු රහිත වූ දෙයකි. ක්‍රීඩා පිටියේදී ගුරුතුමියක විසින් හෑන්ඩ්පෝනය අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුවදා ඇය පාසලට ගියේ සිය මවත් සමගය. ඒ විදුහල්පතිනියගෙන් සමාව ගනු පිණිසය. එහෙත් විදුහල්පතිනියගෙන් සමාව ලැබුණේ නැත.

"සති දෙකක්‌ පංති තහනම්, වෙන පාසලක්‌ සොයා ගන්න."

විදුහල්පතිනියගේ තර්ජනයෙන් මහේෂිකා දැඩිසේ කම්පනයට පත් වූවාය.

ක්‍රීඩා උළෙල අවසන්ව ආ යුත්තේ බසයෙනි. බසයෙන් බැස තවත් කි. මී. 1 1/2 ක පමණ දුරක්‌ ඇය පා ගමනින් යා යුතුය. යම් හෙයකින් රෑ වුවහොත් ඒ දුර තනිව යැම බිය සැක ගෙන දෙන්නකි. ඇය ටෙලිපෝනය ගෙන ගියේ යම් හෙයකින් රෑ බෝ වුවහොත් පියාට පාරට පැමිණෙන ලෙස දැන්වීමටය.

මහේෂිකා මේ පැහැදිලි කිරීම කළද විදුහල්පතිනිය පිළිගත්තේ නැත.

"සති දෙකක්‌ පංති තහනම්"

ඇගේ පිළිතුර එය විය. ඒ අතර වෙනත් පාසලක්‌ සොයා ගන්නැයි කීමෙන් ඇය පාසලෙන් ඉවත් කරනු ඇතැයි භීතියක්‌ ද ඇගේ සිතට ඇතුළු කරවනු ලැබීය.

ආපසු ගෙදර පැමිණි මහේෂිකා කල්පනාවට වැටුණාය. "ඇයි ඉස්‌කෝලෙ යන්නේ නැද්දැයි" අසල්වැසියන් අසන විට ඈ කීවේ මේ දිනවල නිවාඩු බවයි.

මේ අයුරින් ඇගේ හිසට මහා බරක්‌ පැටවිණි.

නිෂාදි මහේෂිකාගේ මව ඇඳුම් මැසීමෙන් මුදලක්‌ සොයා ගත් ගෘහනියකි. තාත්තා පෙදරේරුවෙකි. එහෙත් ඇය හොඳින් ඉගෙනුම කළ යුවතියකි.

ජීවිතයේ ආලෝකය ඉගෙනුමයි. දුගී බවේ ශාපයෙන් ගොඩ ඒමට නම් ඒකාන්ත ප්‍රාර්ථනය විය යුත්තේ ඉගෙනුමයි. එහෙත් ඒ ප්‍රාර්ථනාව හරහා අද වැටක්‌ බැඳී ඇත.

18 හැවිරිදි මේ යුවතියගේ සිත මහත් සංතාපයකින් පිරී ඉතිරී ගියේය.

පසුවදා අම්මා වැඩට යන්න සූදානම් වූ විට අම්මේ වැඩට යන්න එපා යෑයි කියා මව ගෙදර නතර කර ගත්තාය. ඒ ව්‍යාකූල සිත සනහා ගනු පිණිසය. එහෙත් අම්මාට හැමදා ගෙදර සිටිය නොහැක. දෙවැනි දින අම්මා වැඩට ගියාය.

පංති තහනම ඇගේ සිත විකල් කොට තිබිණි. ඇයට පෙම්වතෙක්‌ සිටි නමුදු ප්‍රෙAමයෙන් සිත සනහා ගන්නටවත් ඇයට නොහැකි වූවා විය හැක.

අන්තිමේදී ඇය කෘමි නාශක බීවාය. කෘමි නාශක ඇය වෙත ගෙන ආවේ ශෝචනීය වූ මරණයයි.

දිවි නසා ගැනීම් අපට අලුත් ඒවා නොවේ. විවිධ හේතූන් මත මිනිසුන් ගැහැනුන් දිවි නසා ගනිති. ඒ මරණයන් ගැන අපි ශෝක වන්නෙමු.

එහෙත් නිෂාදි මහේෂිකාගේ මරණය එසේ ශෝක වීමෙන් පමණක්‌ බැහැර කළ හැකි මරණයක්‌ නොවේ.

හෑන්aඩ්පෝනය පිළිබඳ ඇගේ මතය අහිංසක එකකි. එය ගෙන ගියේ පාසලට නොවේ. පාසලේ ක්‍රීඩාංගණයටද නොවේ. ක්‍රීඩා උත්සවය පැවැත්වුණේ වෑගොව්ව මහේන් ගුණසේකර නම් පිටස්‌තර ක්‍රීඩාංගණයකදීය. ඇය හෑන්ඩ් පෝනය ගෙන ගියේ එම ක්‍රීඩාංගණයටය. එදා රෑ බෝ වුවහොත් පියාට පාරට එන ලෙස දැනුම්දීම පිණිසය. මෙම ප්‍රයත්නය කෙතරම් අහිංසකද?

පාසල් ශිෂ්‍ය ශිෂාවන්ට හෑන්ඩ් පෝන් ගෙනයැම තහනම් වැරැද්දක්‌ ලෙස කිසිසේත් දැකිය නොහැක.

එහෙත් මිනුවන්ගොඩ නාලන්දා විදුහල්පතිනිය නිෂාදි මහේෂිකා දෙස මිනිස්‌ ඇසින් බැලුවා නම් කෙතරම් හොඳද? රෑ බෝ වුවහොත් තමා රැගෙන යනු පිණිස පාරට එන්නැයි පියාට පණිවුඩයක්‌ දීම පිණිස හෑන්ඩ් පෝනය පාසල් ක්‍රීඩාංගණයට ගෙන යැම සාපරාධී වරදක්‌ද?

මියුසියස්‌ විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ පාසලේදීම ටයි පටියෙන් එල්ලී මිය ගියේ හෑන්ඩ් පෝනයක්‌ මුල්කරගෙනය.

එහිදී මියුසියස්‌ විද්‍යාලයීය ගුරු මණ්‌ඩලය දෝෂාරෝපණයට ලක්‌වූවා මෙන්ම මහත් අපහසුතාවටද පත්විය.

මිනුවන්ගොඩ නාලන්දා විදුහල්පතිනිය තත්ත්වය මේ තරම් බරපතළ වේ යෑයි නොසිතන්නට ඇත. එහෙත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඇතැම් ගු=රුවර ගුරුවරියන් ප්‍රදර්ශනය කරන්නේ පහළ බාලාංශ ළමයකුටත් වඩා පහළ දැනුම් මට්‌ටමකි.

නිෂාදි මහේෂිකා සමාව ඉල්ලුවාය. සමාව දීම දේව ගතියකැයි යන රුවන් වැකිය අප ඉගෙන ගත්තේ කුඩා කලදීමය. නිෂාදිට සමාව දීමට තරම් දේවගතිය විදුහල්පතිනිය තුළ පහළ වී නම් නිෂාදි අද ජීවතුන් අතරය.

බොහෝ ගුරුවර ගුරුවරියෝ ජීවිත කාලය තුළම විභාග ලියති. ඩිප්ලෝමා හදාරති. අධ්‍යාපන මනෝවිද්‍යාව හැදෑරූ ගුරු භවතුන් පවා ශිෂ්‍යාවකගේ පෙම්හසුනක්‌ අසුවුවහොත් එය සලකන්නේ මිනී මැරීමට පමණක්‌ දෙවැනි වන අපරාධයක්‌ ලෙසටය. තමන්ටත් තරුණ වියක්‌, තරුණ පාසල් අවධියක්‌ තරුණ ප්‍රේමයක්‌ තිබුණු බව ගුරුවරු වූ සැණින් අමතක කරන්නේ ඇයි?

වරක්‌ එක්‌ විදුහල්පතිවරයෙක්‌ ශිෂ්‍යාවකගේ පෙම් හසුනක්‌ හසුවූ කල විදුහල්පති එම ශිෂ්‍යාව පාසලේ උදෑසන රැස්‌වීමට ගෙන්වා ප්‍රසිද්ධියේ ඒ ගැන සඳහන් කළේය. ඒ ශිෂ්‍යාව දිවි නසා ගත්තීය. අවුරුදු දහයකට පමණ උඩදී මේ සිද්ධිය වූයේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පාසලකය.

තවත් පාසලක ගැහැනු ළමයෙක්‌ හා පිරිමි ළමයෙක්‌ අතර පෙම් සබඳතාවක්‌ තිබෙන බැව් විදුහල්පතිනියට වෙනත් ගුරුවරියක්‌ සැලකළාය. විදුහල්පතිනිය ශිෂ්‍යාවගේ පියාට විදුහලට එන ලෙස ශිෂ්‍යාව අතම පණිවුඩයක්‌ යෑව්වාය. පියා පැමිණි පසු විදුහල්පතිනිය ශිෂ්‍යාව ගෙන්වා අසවල් ශිෂ්‍යයා සමග පෙම් සබඳතාවක්‌ පවත්වනවා නොවේදැයි පියා ඉදිරියේම ශිෂ්‍යාවගෙන් විචාලාය. අවංක ශිෂ්‍යාව ඔව් යෑයි පිළිගත්තාය. මෙයින් මහත් අපහසුවට පත් වූයේ පියාය. එදින ශිෂ්‍යාව ආපසු නිවසට ගියේ මර භීතියෙනි. එදින ඇය බරපතළ ලෙස පියාගෙන් පහර කෑවාය. එහෙත් ඇය දිවි නසා ගත්තේ නැත.

පසු කලෙක ඇය රජයේ ගුරුවරියක්‌ වූ අතර පාසල් පෙම්වතා රජයේ ලිපිකරුවෙක්‌ විය. අනතුරුව දෙදෙනා මවුපිය ආශිර්වාදය මැද උත්කර්ෂවත් ලෙස විවාහ වූහ. මං නම් කියා සිටියේ අර විදුහල්පතිනිය මේ මංගල්‍යයට කැඳෙව්වා නම් හොඳ බවය.

දැන් නිෂාදි මහේෂිකා ශිෂ්‍යාව මිය ගොස්‌ය. එය දිවි නසා ගැනීමකි. හදිසි මරණ පරීක්‍ෂකගේ තීන්දුවද එයයි. ප්‍රශ්නය වන්නේ එපමණකින් නාලන්දා විදුහල්පතිනියට සියල්ල අවසන් යෑයි යනුවෙන් අත පිසදා ගත හැකිද යන්නයි.

නාලන්දා විදුහල්පතිනියට කිසිදු දඬුවමක්‌ දීමට නීතියේ කිසිදු ප්‍රතිපාදනයක්‌ නැත. එහෙත් කළු පැල්ලමක්‌ ඉතිරි වී තිබේ. ඒ කළු පැල්ලම හෙවත් නිෂාදිගේ මරණය විදුහල්පතිනියගේ හෘදය සාෂිය හරහා වැටී තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all