Photobucket

Saturday, February 23, 2013

යොවුන් නෙට්බෝල් පුහුණුකාරිනිය අධ්‍යාපන අමාත්‍යාංශයෙන්?

ආසියානු ‍යොවුන් නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිනිය ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ පාසල් ක්ෂේත්‍රයේ පුහුණුකාරිනියක් තෝරා ගැනීමට වැඩි අවධානයක් යොමුව ඇතැයි වාර්තා‍ වේ.

 මෙවර පත්වන නෙට්බෝල් පුහුණුකාරිනිය ශ්‍රී ලාංකේය නෙට්බෝල් ක්‍රීඩාවට ක්‍රීඩිකාවන් වැඩි ප්‍රමාණයක් බිහිකළ තැනැත්තියක් වනු ඇතැයි පැවැසේ. පෙරේදා දවස පුරා ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් පිලේ පුහුණුකාරිනිය තේරීම ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදුකළ අතර වැඩිම සුදුසුකම් ඇති අයැදුම්කාරිය ‍තෝරා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත යොමු කර ‍ඇත. 

ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලැබුණු පසු ක්‍රීඩිකාවන් 30කගේ සංචිතයේ පුහුණු කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. යොවුන් නෙට්බෝල් පුහුණුකාරිනියන් තේරීමේදී ඉතිහාසයේ වැඩිම අයැදුම්කාරියන් පිරිස මෙවර ඉදිරිපත්වීමද කැපී පෙනුණි. තේරීම් පරීක්ෂණයට අයැදුම්කාරියන් පහලොවකට අධික පිරිසක් එක්ව සිටි අතර හිටපු යොවුන් නෙට්බෝල් පුහුණුකාරිනියන් හා අධ්‍යාපන, ක්‍රීඩා අමාත්‍යංශවලින්ද වැඩි පිරිසක් ඉදිරිපත්ව සිටියහ.

යොවුන් නෙට්බෝල් පුහුණුකාරිනී තනතුරට කළුතර හා කුරුණෑගල ප්‍රසිද්ධ බාලිකා පාසල් දෙකක පුහුණුකාරිනියන් දෙදෙනෙකු අතර ප්‍රබල තරගයක් තිබු බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දෙදෙනාම පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශූරතා රැසක් දිනාගත් කැපී පෙනෙන පුහුනුකාරිනියන් දෙදෙනෙකි.

ක්‍රීඩිකාවන් අතර උණුසුම් තරගයක්
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භවු යොවුන් නෙට්බෝල් පිල තේරීම් පරීක්ෂණයට ක්‍රීඩිකාවන් 300කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. එම සංඛ්‍යාව මෙතෙක් තේරීම් පරීක්ෂණයකට සහභාගී වු වැඩිම පිරිස බව නෙට්බෝල් සම්මේලනයේ ප්‍රකාශිකාවක් පැවැසුවාය. අද දිනයෙන් තේරීම් අවසන් වන අතර ක්‍රීඩිකාවන් 30කගේ සංචිතයක් ප්‍රකාශවීමට නියමිතය.

තේරීම් කමිටුව නම් කරයි
ශ්‍රී ලංකා නෙට්බෝල් ජාතික තේරීම් කමිටුවට සාන්ත බ්‍රිජට් කන්‍යාරා‍මයේ ලක්මිණී කීර්තිනන්ද මහත්මිය ඇතුළත් කිරීමට ක්‍රීඩා ඇමැති මහිදානන්ද අලුත්ගම‍ගේ මහතා ඊයේ අනුමැතිය ලබා දුන්නේය. යසා රාමචන්ද්‍ර මහත්මියගේ සභාපතිත්වයෙන් නමි කළ තේරීම් කමිටුවට ප්‍රියංකා පීරිස්, සන්ධ්‍යා ජයසූරිය හා චන්ද්‍රාණි පතිරාජ යන ජ්‍යෙෂ්ඨ සාමාජිකාවෝද ඇතුළත් වෙති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all