Photobucket

Saturday, February 23, 2013

හොඳ කෙනෙක් ලැබෙයි කියලා හිතනවා

කොහේද ඔබේ ගම්පළාත? පාසල් කාලය ගෙවුණේ කොහොමද?
මගේ ගම නුවර බලගොල්ල. පුංචි කාලෙ මම හැදුණේ ආච්චියි සීයයි ළඟ. මම පළමුවෙන්ම අනුරාධපුරය ස්වර්ණපාලි බාලිකා විදුහලටයි ගියේ. ඉන්පසුව නුවර හේමමාලි බාලිකා විදුහලටත් ඊට පසුව ඕමාන්වල පාසලකටත් ගියා. ඒ මගේ අම්මයි තාත්තයි ඕමාන්වල ජීවත් වුණු නිසා. පාසලේ දී මගේ ප්‍රියතම විෂය වුණේ නර්තනය.

කොහොමද ඔබ රංගනයට සම්බන්ධ වුණේ?
කේෂාන් පෙරේරා මගේ හිතවතෙක්. ඔහුගේ මාමා කෙනෙක් වන සුදේශ් වසන්ත පීරිස් මඟින් ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මගේ පළමු රංගනය තමයි ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටය. ඉන්පසුව ටෙලිනාට්‍ය කීපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මුලින් චිත්‍රපටයක රඟපෑවත් මගේ රංගනයක් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබුණේ ‘මුතුවරුසා’ ටෙලිනාට්‍යයෙන්. ඒ හැර මේ වන විට ‘පිපෙන මල්’, ‘චායා’, ‘මීදුමක් සේ ඇවිදින්’ වැනි ටෙලිනාට්‍යවලට මම දායක වෙලා තියෙනවා.

රංගනයට පිවිසීම බලාපොරොත්තුවක් ඉටුවීමක්ද?
පාසල් යන කාලෙ මම ආශා කළේ ගුවන් සේවිකාවක් වෙන්න. මට ඕමාන්වලදි චිත්‍රපට නරඹන්න අවස්ථාව ලැබුණා. එතකොට මටත් රඟපාන්න ඇත්නම් කියන ආශාව මට ඇතිවුණා. නමුත් ඒ ආශාව මේ විදිහට ඉටුවෙයි කියල මම හිතුවේ නෑ.

ළඟදි විකාශය ඇරඹුණු ‘චායා’ ටෙලිනාට්‍යය ගැන ප්‍රේක්ෂකයින් මොනවද කියන්නෙ?
’චායා’ විකාශය වෙන්න අරගෙන ටික දවසයිනෙ. ඒත් දැනටමත් ඒ ගැන ගොඩක් දෙනෙක් කතාකරනව. ඉදිරියේදී මේ ටෙලිනාට්‍යයට ගොඩක් ප්‍රේක්ෂකයින් ඇලුම් කරයි කියල මම හිතනව. ‘චායා’ කියන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චිගෙ අතිශය ජනපි‍්‍රිය වුණු නවකතාවක්. මේ පොත වාර්තාගත අන්දමින් අලෙවි වෙලා තියෙනව. ඒ නවකතාව ඇසුරෙනුයි මේ ටෙලිනාට්‍යය නිපදවූණේ. මෙහි මට රඟපාන්න අවස්ථාව ලැබුණේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමෙන් පසුවයි.

’මුතුවරුසා’ ටෙලිනාට්‍යයේ ඔබ ද්විත්ව රංගනයක යෙදෙනවා නේද?
ඔව්. ඒ තාරුකා සහ අයෝධ්‍යා කියන චරිත දෙක. තාරුකා කියන චරිතයට ප්‍රේක්ෂකයින් ගොඩක් දෙනෙක් ආදරය කරනවා. මට ගොඩක් දෙනෙක් කතා කරන්නේ තාරුකා කියල. තාරුකා අහිංසක ගැමි යුවතියක්. මම සාමාන්‍යයෙන් මට ගැළපෙන විලාසිතා කරන කෙනෙක්. නමුත් මම තාරුකා අඳින විදිහේ ඇඳුම් හැර වෙනත් ආකාරයේ ඇඳුම් අඳීනවට ප්‍රේක්ෂකයින් කැමැති නෑ. මගේ සැබෑ ජීවිතයේදීත් තාරුකා වගේ ඉන්නවටයි ප්‍රේක්ෂකයින් කැමැති. ප්‍රේක්ෂකයින් ඒ චරිතයට දක්වන ආදරය ගැන මම ගොඩක් සතුටු වෙනවා.

’පිපෙන මල්’ ටෙලිනාට්‍යයේ ‘සමාධි’ත් අහිංසක ගැමි යුවතියක් නේද?
ඔව්. සමාධි කියන්නේ ගැමි යුවතියක්. දිරියෙන් නැඟී සිටින්න උත්සාහ දරන කෙනෙක්. ඒ චරිතයත් ගොඩක් ජනප්‍රියයි.

ඔබ වඩාත් කැමැති ගැමි අහිංසක චරිත නිරූපණය කරන්නද? නාගරික චරිත නිරූපණය කරන්නද?
ගැමි චරිත නිරූපණය කරන්න පෞද්ගලිකව මම කැමැතියි. ඒත් මම කැමැති නෑ රංගනයේදී එකම විදිහේ චරිතවලට කොටුවෙලා ඉන්න. මගේ සැබෑ චරිතයට හානියක් නොවන ආකාරයේ මට ලැබෙන චරිතයකට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කරනවා.

තාරුකා වගේම මහේෂිත් අහිංසක කෙනෙක්ද?
ඔව්. ඇත්තටම මම අහිංසකයි. පාඩුවේ ඉන්නවා.

ඔබ දිගටම රංගනයේ ඉඳීවිද?
ඔව්. දිගටම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තුවක් තියෙනව. කවදාහරි ජනප්‍රියම හෝ දක්ෂතම රංගන ශිල්පිනිය වෙන්න මගේ හිතේ පුංචි ආශාවක් තියෙනවා. ඒ නිසා රංගනය ගැන ඉගෙනගනිමින් ප්‍රවීණයින්ගේ උපදෙස්වලට සවන්දෙමින් මගේ රංගන හැකියාව දියුණු කරගන්න උත්සාහ කරනව.

පවුලේ තොරතුරුත් කියන්න..
මගේ අම්මටයි තාත්තටයි ඉන්න එකම දරුවා මම. මුලින් තාත්තා මම රඟපානවට අකැමැති වුණත් දැන් එහෙම නෑ. මගේ ආච්චියි සීයයි දෙන්නත් මට ගොඩක් උදව් කරනවා.

ජීවිතයට ඉතාම සමීප තවත් කෙනෙක් නැතිද?
තවම නෑ. නමුත් මට ගොඩක් ආදරය කරන මාව හොඳින් බලාගන්න, මගේ රඟපෑම් කටයුතු ගැන අවබෝධයක් තියෙන හොඳ කෙනෙක් මට ලැබෙයි කියල මම හිතනව.

මේ දවස්වල මොනවද කරන්නෙ?
ටෙලිනාට්‍ය 3ක රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම දෙරණ නාළිකාවේ රියැලිටි නර්තන වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්නව. මේ දවස්වල ඒ සඳහා පුහුණුවීම් කරනවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all