‘බෝම්බ සහ රෝස’.
පසුගිය ආදරවන්තයින්ගේ දිනය දා (14) සිනමා පේ‍්‍රක්‍ෂකයින් අතරට
තිළිණ කළ නවතම සිනමාපටයයි. මෙහි ප්‍රධාන චරිතයෙන් ඔබ අතරට එන යෞවනයේ රංගන
ශිල්පියෙක් ’විශ්වනාත් කොඩිකාර’. සිනමාවේ මෙන්ම පුංචි තිරයෙන් නිරන්තරයෙන් ඔබ ව
මුණගැහෙන විශ්ව මේ දිනවල සිරස රූපවාහිනියේ ‘චායා’ ටෙලිනාට්‍යයෙන් ද ඔබට සමීප වෙනවා.
ඉතාම කෙටිකලකදි රංගනයෙන් ඉහළට ආ විශ්ව මෙවර ‘යෞවනයේ අපි’ විශේෂාංගයෙන් මුණගැහෙන්න
හිතුවා.
’බෝම්බ සහ රෝස’ චිත්‍රපටයෙන්ම අපේ කතාබහට ආරම්භයක් ගමු.
ඔව් ඇත්තටම ‘බෝම්බ සහ රෝස’ තිරගතවීම ගැන ලොකු සතුටකින් මම මේ දිනවල ඉන්නේ. මම
හිතන්නේ මගේ රංගන ජීවිතයේත් වෙනසක් වුණ සිනමාපටයක්.
මෙහි චරිතය වෙළෙඳ දැන්වීම් ආයතනයක වැඩ කරන දඟකාර කොල්ලෙක්. ඔහුට බරක් පතළක් නෑ.
ගැහැනු ළමයි ඇසුර වගේම පාතාලයත් එක්කත් ඔහුට ගනුදෙනු තියෙනවා. ඉතිං අමුතුම මාදිලියේ
චරිතයක්.
ඒ කියන්නේ යම් අභියෝගාත්මක චරිතයක් ඔබට ලැබුණා කියන එකද?
පැහැදිලිවම ඔව්. හැබැයි මම බයවුණේ නැහැ. මගේ නාට්‍ය ජීවිතයේ ගුරා මගේ ළඟින්ම
හිටියා. මහේන්ද්‍ර පෙරේරා ඔහු මට බොහෝ දේවල් කියලා දුන්නා මේ චරිතය හසුරුවන්න ඕන
කොහොමද කියලා.
තවත් පැත්තකින් අපි චරිතයක් කරනවා කියන්නේ ලොකු අභියෝගයක් තමයි. මොකද රංගනයේ
යෙදෙනවා කියන්නේ සමාජයේ ජීවත්වෙන චරිතයක් අපි කරන්න ඕන. ප්‍රේක්‍ෂකයන්ව රවට්ටන්න
බැහැ.
බොරු කරන්න බැහැ. මොකද අද වෙනකොට ප්‍රේක්‍ෂකයාම තීරණය කරනවා මෙයාගේ කාලේ ඉවරයි
කියලා. මෙයාට රඟපාන්න පුළුවන්ද බැරිද කියන එක.
ඒ නිසා ආවාට ගියාට රඟපාන්න බැහැ කියන එක මම තේරුම් අරන් ඉන්නේ.
’පබා’, ‘අමා’. දැන් ‘චායා’ මට හිතෙනවා ඔබ මෙගා ටෙලිනාට්‍ය වලටම කොටුවුණු නළුවෙක්
කියලා.
එහෙම කොටුවුණා කියන්න බැහැ. කොහොමත් මම එකවතාවට එක නාට්‍යයයි කරන්නේ. ඇත්තම
කිව්වොත් මට නාට්‍යවලින් හම්බකරන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. මේක මගේ වෘත්තිය
තමයි. නමුත් රංගනයෙන් නාට්‍යයකට එක්වෙන්න ආරාධනාවක් ආවොත් එය මෙගාද නැද්ද කියන
ප්‍රශ්නය මට අදාළ නැහැ. මම හරිම ආසයි රඟපාන්න. මගේ ප්‍රේක්‍ෂකයින් වෙනුවෙන් යමක් මට
කරන්න පුළුවන් වුණා කියලා ලබන සතුට මට මුදලකින් මිල කරන්න බැහැ.
ඔබේ පියාගේ පද්මසිරි කොඩිකාර දැන හැඳුනුම්කම් නිසා අද විශ්වනාත් කොඩිකාර ක්ෂේත්‍රයේ
ඉන්නවා කිව්වොත්.
ඔව් ඒක එකපැත්තකින් හරි. තාත්තා නිසා තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. හැබැයි තාත්තා
බලකළේ නැහැ. තාත්තා මට කිව්වේ මේ ක්ෂේත්‍රයේ ඉන්න අමාරුයි.
මාර කට්ටක් කන්න ඕන. එන්න ලේසියි යන්න ලේසියි. හැබැයි රැඳෙන්න අමාරුයි කියලා හැම
වෙලේම කිව්වේ. ඒ මොනදේ වුණත් මගේ හැකියාවක් නැත්නම් අද මට මෙහෙම රැඳෙන්න බැහැනේ.
හොඳයි මේ දිනවල විකාශය වන ‘චායා’ ටෙලිනාට්‍යය ගැන අපි කතා කරමු.
’චායා’ කියන්නේ මම ආසා කරන කතාවක්. මට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ‘අසංක’ කියන මේ චරිතය
ආදරයට ආදරය කරන, චරිතයක්. සමහර අය මට කියනවා අයියේ ඔයා හරි බොළඳයිනේ චරිතයේ රඟපානවා
කියලා. ඇත්තටම මම එයාලට කියන්නේ එහෙනම් මගේ රංගනය සාර්ථකයි. මට සතුටුයි කියලා. මොකද
ආදරය ඉස්සරහා කවුද බොළඳ නොවෙන්නේ. ඒක ඕනෑම කෙනකුට මොන තරාතිරමක හිටියත් වෙන දෙයක්.
අද නළු නිළියන්ට සමාජයේ ඇතිවෙලා තියෙන මතය ගැන මොකද හිතෙන්නේ.
මෙහෙමයි මට මේ ක්ෂේත්‍රයේ හැමෝම සහෝදර සහෝදරියෝ වගේ. සමාජයේ ගොඩනැගිලා තියෙන මතවලට
එකඟ වෙන්න මට බැහැ.
අපිට සිද්ධ වෙනවා නිළියන් සමඟ කටයුතු කරන්න. හැබැයි අපි කොහේ හෝ ලොකේෂන් එකක කතා කර
කර හිටියොත් ඔන්න සමහරු විවිධ පද හදනවා විශ්ව අර නිළියත් එක්ක යාළුයි කියලා.
පසුගිය කාලේ අපේ අයට ඔය වගේ විවිධ දේ කිව්වා. ඉතිං මේ හැමදේම පිළිගන්න අමාරුයි.
ඇත්ත ස්වභාවය යට ගිහින් බොරුව උඩට එන්නේ.
අද තාරුණ්‍යය කියන එක ගැන මොකද හිතන්නේ?
අපි හැමෝටම තරුණ කාලයක් තියෙනවා. මම නම් විශ්වාස කරන්නේ ඒ කාලේ අපි උපරිම ප්‍රතිඵල
නෙළාගන්න ඕන හරි විදිහට. ආයෙමත් ඉතිං ඒ වගේ ලයිෆ් එකක් එන්නේ නැහැනේ. මම නම් ඇත්තටම
සතුටු වෙනවා. අද දෙමව්පියන්ව, යහළුවන්ව හැමෝවම සතුටෙන් තියන්න මට පුළුවන් වෙලා
තියෙනවා. ඒ වගේම වැරැදි කරලා නැහැ. තරුණ කාලේ කියන්නේ පොඩි හිතුවක්කාරකමකුත් තියෙන
වයසනේ. එහෙමයි කියලා වැරැදි පාරේ ගියොත් අපි අසරණයි. ඒ නිසා හරි පාර හොයාගන්න අපි
දැනගන්න ඕන.
පුංචි තිරයේ තාමත් ඔබ පෙම්වතා වුණත් තිරයෙන් පිට ඒ ගැන හා හූවක් නැහැ.
ඇත්තම කිව්වොත් මට තාම ආදරයක් නැහැ. මේක මේ හැමෝම කියනවා වගේ රැල්ලට කියන දෙයක්
නෙමෙයි. මම හරි ආසයි ආදරේ කරන්න. ඉතිං එහෙම කෙනෙක් මම තාම හොයනවා.
0 comments:
Post a Comment