Photobucket

Friday, February 22, 2013

සුපර්ක්‍රොස් මෙහෙයවන්න නව සංගමයක්

මෙරට මෝටර් රථ හා යතුරුපැදි ධාවන ශූරයන්ගේ දස්කම් උරගා බලන ත්‍රාසජනක සුපර්ක්‍රොස් ධාවන තරග පථයේ ප්‍රධානතම තරගාවලි මෙහෙයවීමට ස්ලඩා රේසිං නමින් නව සංගමයක් බිහිවී ඇත. ‍

ඒ අනුව මෙරට සුපර් ක්‍රොස් තරග පථයේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් දියතලාව ෆොක්ස්හිල්, කුරුණෑගල කැවල්රි, අනුරාධපුරයේ ගජබා, මින්නේරිය ගනර්ස්, සීගිරිය මොටෝක්‍රොස් සහ කටුකුරුන්ද මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලියේ මෙහෙයවීම නව සංගමයෙන් සිදුකෙරෙන බව එම සංගමයේ සභාපති යෝගා පෙරේරා මහතා 'දිනමිණ' කළ විමසුමකදී සඳහන් කළේය.

මීට පෙර මෙරට සුපර්ක්‍රොස් තරග මෙහෙයවූ ප්‍රධානතම සංගමය වන ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (ස්ලාර්ඩර්) පසුගියදා පැවැති නිලවරණය ව්‍යවස්ථාවට පටහැනිව පැවැත්වීම නව සංගමය බිහිකිරීමේ ආසන්නතම හේතුව බව පැවැසේ. සංගම් ව්‍යවස්ථාව අනුව නිලවරණයට දින 14කට පෙර නාමයෝජනා ඉදිරිපත් කළ යුතු වුවද මේ නිලවරණයේ දී එය එසේ සිදුනොවූ බවත් ඒ හේතුවෙන් පැන නැගුණු මතගැටුමක් දුරදිග යාමෙන් නව සංගමය බිහිවූ බව වාර්තා විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව 'දිනමිණ'ට ප්‍රකාශයක් කරමින් ස්ලාඩර් සංගමයේ සභාපති පුබුදු වික්‍රම මහතා සඳහන් කළේ වසර 28ක ස්ලාඩර් නිලවරණ ඉතිහාසයේ කිසිදු නිලවරණයක දී දින 14කට පෙර නාමයෝජනා භාරදීමක් සිදුනොවූ බවය. ස්ලාඩර් සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනකු මෙසේ නව සංගමයක් බිහිකරනු ලැබුවේ එක්තරා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සම්බන්ධව පැවැති විනය පරික්ෂණයක් හේතුවෙන් බව පුබුදු වික්‍රම මහතා පැවැසීය.

“පසුගිය වසරේ පැවැති සුපර්ක්‍රොස් තරගාවලියක් වර්ජනය කිරීමට අදාලව එක්තරා මෝටර් රථ ධාවකයකුට විනය පරික්ෂණයක් පවත්වා ස්ලාඩර් සංගමයෙන් මාස 6ක තරග තහනමක් පැනවූවා‍. ඒත් ඒ වෙනකොට අදාල මෝටර් රථ ධාවකයා ඊළඟ තරගාවලියට ඉල්ලුම්පත් භාරදීලයි තිබුණේ. ඒ නිසා මෝටර් රථ තරග ධාවකයෙක් වන ඔහුගේ පියා ඒ අදාල මෝටර් රථයෙන් ඒ තරගාවලියට සහභාගිවීමට ස්ලාඩර් සංගමයෙන් ඉල්ලීමක් කළා. 

සංගමයේ නිලධාරීන් බහුතරයකගේ එකඟතාව මත ඊට අවසර ලැබුණා. නමුත් ඒ සඳහා දැඩි විරෝධතාවක් එල්ල කළ ඉහත කී ජ්‍යෙෂ්ඨ නිලධාරියා තරගාවලිය අතරතුර දී සංගමයේ සෙසු නිලධාරීන් අපහසුතාවට පත්කරමින් කටයුතු කිරීමේ හේතුවෙනුයි ඔහුට විරුද්ධව විනය පරික්ෂණයක් පවත්වන්න තීරණය වුණේ. මේ වසරේ නිලවරණයට ඔහුත් තරග වැදීමට නියමිතවයි හිටියේ. ඒත් පරික්ෂණයට කළින් ඔහු විධායක කමිටුවෙන් ඉවත්වුණා. ඒ වගේම නිලවරණයට ඉදිරිපත් වුණෙත් නෑ. ඔහුට සංගමයේම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහායත් ලැබී තිබුණා” පුබුදු වික්‍රම මහතා කීවේය.

නිලවරණයෙන් පත්වූ නව නිලධාරි මණ්ඩලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ඔහු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග එක්වී මෙසේ සුපර්ක්‍රොස් ධාවන පථයේ ප්‍රධානතම තරගාවලි මෙහෙයවීමට නව සංගමයක් ආරම්භ කිරීමට කටයුතු කළ බව ස්ලාඩර් සභාපතිවරයා සඳහන් කළේය. මේ සඳහා ඇතැම් සුපර්ක්‍රොස් තරග සංවිධායකවරුන්ගේ සහාය ද ඔවුන්ට ලැබුණු බවත් පුබුදු වික්‍රම මහතා කීවේය. 

ස්ලාඩර් සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්වූ තමාට සහ ලේකම්වරයාට නිලවරණය ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඉන් ඉවත්වන ලෙසත්,‍‍ ‍නොඑසේ නම් තරගාවලිය ලබානොදෙන බවත් ඇතැම් සුපර්ක්‍රොස් තරග සංවිධායකවරුන් බලපෑම් එල්ල කළ බව ද ඔහු අනාවරණය කළේය. 

“ක්‍රිඩාව වෙනුවෙන් තනතුරුවලින් ඉවත්වීමට අපි සූදානම්. නමුත් ඊට කළින් මේ සිදුවීම ගැන පැහැදිලි කරන්න අපට අවස්ථාවක් ලබාදෙන්න කියලා අපි ඒ තරගාවලි සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඒත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා” පුබුදු වික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් ස්ලඩා රේසිං නව සංගමය ගැන කරුණු දැක්වූ එහි සභාපති යෝගා පෙරේරා මහතා පැවැසුවේ මෙරට මෝටර් රථ හා යතුරුපැදි ධාවන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඔවුන් මේ පියවර ගත් බවය.

“අපේ රටේ වැඩිම සුපර්ක්‍රොස් ධාවන පථ යුද හමුදාව හා ගුවන් හමුදාව සතුයි. ඔවුන්ගේ සහයෝගය ඇතිව මෙරට සුපර්ක්‍රොස් ධාවන පථ තවදුරටත් දියුණු කිරීමේ හා අපේ ක්‍රිඩකයන්ගේ දක්ෂතාවලට වැඩි වටිනාකමක් ලබාදීමේ අරමුණින් යුතුවයි අපි නව සංගමය බිහිකළේ. පළමුවතාවට යුද හමුදාවේ හා ගුවන් හමුදාවේ නිලධාරීන් අපට සම්බන්ධව වෙලා ඉන්නවා. ඒ අනුව ඉදිරියේ දී මෙරට සුපර්ක්‍රොස් ධාවන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපිට හැකිවේවි” යෝගා පෙරේරා මහතා විශ්වාසය පළකළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all