Photobucket

Sunday, February 24, 2013

කැමැත්තෙන් එල්ලෙන රහස හඹා ගියෙමි

බස්‌ රථය එක තැනය. දැන් විනාඩි දහයක්‌ පමණ ගෙවී ගියේය. මම අසුනෙන් මඳක්‌ ඉස්‌සී මග දෙස බැලුවෙමි. මඟ නොපෙනෙන තරමටම ඉදිරියෙන් වාහන පෝළිමකි. සියලු වාහන හිටි පිළිම සේය.

"පාරවල් කොච්චර ලොකු කළත් වාහන තදබය නම් අඩුවක්‌ නැහැ. පේන විදිහට නම් වරායට නැවක්‌වත් ඇවිත් වගේ"

මා සමග අසුන්ගෙන සිටි මැදිවියේ කෙනා එසේ කීවේය. ඔහුගේ කතාවෙන් හැඟෙන්නේ ඔහුට නුවර පාර ආගන්තුක නොවන බවය. කතාව සැබෑය. වරායට නැවක්‌ පැමිණි විට එහෙට මෙහෙට බඩු ගෙන යන කන්ටේනර් රථ ආමර්වීදිය, පංචිකාවත්ත, බ්ලූමැන්ඩල් පාර ඔවුන්ගේ අණසකට යටත් කර ගන්නේය. එවිට මහ මඟ එකම වාහන තදබදයකි. එහෙත් අද නම් ආමර්වීදි මංසන්ධියේ මෙතරම් වාහන තදබදයක්‌ ඇති වී ඇත්තේ කන්ටේනර් රථ පාරට දැමීමෙන් නොව, පංචිකාවත්ත කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන වේල් පෙරහැර නිසා බව ඈතින් ඇසෙන 'නාගසලං' හඬ කියාපායි. ගමන කොතරම් සුනන්ගු වුවද විස්‌සෝප වී ඵලක්‌ නැත. වාහන සේම පෙරහැරත් මහ මඟ යා යුතුය.

'නාගසලං' හඬ අවට පිපිරෙයි. මගීහු වීදුරු කවුළුවෙන් පෙරහැර නරඹමින් සිටියහ. මම ද ඒ දෙස බලා හිඳිමි. පෙරහැර ඉදිරියෙන්ම දේව රූපයක්‌ රැගත් කැන්ටර් රථයකි. කෙසෙල්ගස්‌වලින් ආවරණය කර තිබූ රථයේ ගෙන යන දේව රූපය කුමක්‌දැයි හරියට හඳුනාගැනීමට නොහැකි විය. එහෙත් රථය පිටුපසින් ඇස ගැටුණු කාවඩි නැටුම නම් සිතට ගෙන දුන්නේ ආස්‌වාදයකි. ගමන ප්‍රමාදවීමෙන් නොසන්සුන් වූ සිතට කාවඩි නැටුම අස්‌වැසිල්ලක්‌ ගෙන දුන්නා සේ මට දැනිණි. බස්‌ රථය තුළ සිටින මගීහු තව තවත් පෙරහැර නැරඹීමට උත්සුක වූහ.

කාවාඩි නැටුම් නරඹමින් සිටි මගේ දෙනෙත් නොසිතු ලෙස පියවිණි. මවිල් කෙලින් විණි. මිනිස්‌සු තුන් දෙනකුව යකඩ කොකු මත අමුණා කැන්ටර් රථයක එල්ලාගෙන යයි. බස්‌ රථයේ සිටි ඇතැම් පුංචි දරුවන් ඒ දර්ශන දැකීමත් සමග කෑගසා හඬන්නට විය. ඇතැම් කාන්තාවන් "අනේ අපොයි" කියා දෙනෙත් සඟවා ගන්වා ද මට පෙනිණි. මීට පෙරද මඟ තොටේදී මෙවැනි පෙරහැරවල කටු ගසාගෙන යන මිනිසුන්ව දැක ඇත. බස්‌ රථයේ සිටින මගීහුද දැක ඇති බවට සැක නැත. එවිට ද සිතට ගෙන දුන්නේ මෙවැනිම භීතියක්‌ බව මට මතකය.

සිරුරුට මෙලෙස දුක්‌ දෙමින් මේ මිනිසුන් දෙවියන්ගෙන් යදින්නේ කුමක්‌ද? ඒ දසුන් දකින ඕනෑම කෙනකුගේ සිතේ ඇති වන්නේ කුහුලකි. මොහොතක්‌ පියවුණු දෙනෙත් හැර, යකඩ කොකු මත එල්ලී යන ඒ මිනිසුන් දෙස මම ඕනෑකමින් බැලුවෙමි. ඒ සිරුරු පුරා අළු වැනි දෙයක්‌ ආලේප කර තිබිණි. සම පසාරු කර යකඩ කොකුවල එල්ලා තිබුණු ඒ සිරුරු දැන් දැන් මහ පොළවට කඩා පාත්වේදෝ කියා මට සිතිනි. යකඩ කොකු ගසා තිබුණු සම ඒ තරමටම ඉහළට නෙරාවිත් තිබිණි. ඒ කටු ගසා සිටින මිනිසුන් දකින විට අපේ සිත් හිරි වැටී ගියද, අත්තටු දිග හැර කුරුල්ලන් මෙන් යකඩ කොකු මත එල්ලී සිටින ඔවුන්ට නම් කිසිදු වේදනාවක්‌ නොදැනෙන සේය. හිස කරකවමින් ඔවුහු අවට නරඹමින් සිටියහ. "මේක නම් අදහන්නත් අමාරුයි. ඇඟ පුරා කටු ගසා වාහනයක එල්ලාගෙන යනවා. ඒත් ඒ මිනිස්‌සු පියවි සිහියෙන් අවට සිරි නරඹමින් යනවා" මම එසේ සිතමින් පෙරහැර දෙස බලා සිටිමි. පෙරහැර අප පසු කර ගියේය. සීරුවට ඉදිරියට ඇදෙන වාහන පෙළත් සමග බස්‌ රථයද ඉදිරියට ගමන් කළේය. මා තුළ ප්‍රශ්නාර්ථයකි. මේ මිනිසුන් යකඩ කොකුවල එල්ලී යමින් සිරුරට අධික දුක්‌ දෙමින් දෙවියන්ගෙන් යදින්නේ කුමක්‌දැයි කියා මට පමණක්‌ නොව, එය දකින ඕනෑම කෙනකුගේ සිතේ උපදින ප්‍රශ්නාර්ථයකි. ඒ ප්‍රශ්නාර්ථයට විසඳුම් සෙවීමට මම අදහස්‌ කළෙමි. යමින් සිටි ගමන මඳකට ප්‍රමාද කළ මම බසයෙන් බැස පෙරහැර පිටුපසින් ගොස්‌ පංචිකාවත්ත භද්‍රකාලී කෝවිල දෙසට ගමන් කළෙමි.

පෙරහැරේ ගමන් ගත් මිනිස්‌සු සිසිල් පැන් වීදුරුවකින් විඩාව සංසිඳුවාලමින් සිටිති. යකඩ කොකුවල එල්ලී ගිය මිනිසුන් දැන් කෝවිල් භූමියේ හාන්සි වී සිටියි. සුදු වේට්‌ටිවලින් සැරසුනු, නිරුවත් උඩුකයේ තැනින් තැන අළු පිරියම් කළ නළලේ තිලක තැබූ පුද්ගලයන් හතර දෙනකු කටු ගැසූ මිනිසුන්ගේ කටු එකිනෙක ගලවමින් සිටියි. මම ඒ දෙස බලා සිටිමි.

යකඩ කොකු ගසා ඇත්තේ ඒ මිනිසුන්ගේ සමටය. එහෙයින් කොකු ගැලවීමෙන් පසු විශාල ලේ හැලීමක්‌ සිදුවන්නේද නැත. යකඩ කොකු සිරුරෙන් ඉවත් කළ පසු කිසිවක්‌ නොවූ ලෙසින් ඔවුහු නැගී සිටියහ. අනතුරුව සිරුරේ කොකු ගසා තිබුණු තැන්වල කහ ආලේප කරනු ලැබිණි. ඔවුන්ගේ මුළු සිරුරම කහ දියරෙන් නාවති. මම සෙමෙන් සෙමෙන් ඔවුන් අසලට කිට්‌ටු කර මගේ අනන්‍යතාව තහවුරු කර මම එතැනට පැමිණි කාරණය සැකෙවින් විස්‌තර කර දුන්නෙමි.

හරි හැටි සිංහල වචන උච්චාරණය කිරීමට නොහැකි වූ එම කෝවිලේ සාමිවරු අදහස්‌ දැක්‌වීමට අකමැති විය. එහෙත් කටු පූජාවේ අපි නොදුටු පැතිකඩ සොයා යැමේ ප්‍රයත්නය අත්නොහැරීමට අදිටන් කර ගත්තෙමි.

දින කිහිපයකට පසු අපි කොච්චිකඩේ කෝවිලට ගොස්‌ එහි ප්‍රධාන පූජකතුමා හමු වී කටු පූජාවේ අපි නොදුටු පැතිකඩ ගැන විමසා සිටියෙමු. අපේ අදහස හොඳින් තේරුම් ගත් පූජකතුමා එම කෝවිලේ සාමිවරයකුගේ ද අදහස්‌ එකතු කරගනිමින් කටු පූජාවේ සියලු තතු සවිස්‌තරාත්මකව විස්‌තර කර සිටියේය.

ගිනි පෑගීම, සිරුර පුරා කටු ගසා ඇවිදීම වැනි පූජාවන් කතරගම දෙවියන්ගේ නාමයෙන් ද, කඩවර පත්තිනි, මංගර, දෙවොල් ආදී දෙවිවරුන්ගේ නාමයෙන් කරනු ලැබේ. ඉන්දියාව, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල ද බැතිමතුන් මහත් වූ භක්‌තියෙන් යුක්‌තව ඔවුන් අදහන දෙවියන්ගේ නාමයෙන් ගිනි කඳුවලින් පිට වන ලෝදිය මත නිරුපද්‍රිතව ඇවිදීම, ගිනි පැගීම ශරීරයේ කටු ගසා ඇවිදීම කරති. එහෙයින්, ගිනි පෑගීම, ශරීරයේ කටු ගැසීම එක දෙවියකුට, එක රටකට සීමා වූ පූජාවක්‌ නොවේ.

සීතා දේවිය බුර බුරා නගින ගිනි ජාලාවක්‌ මතට පැන, ස්‌වකීය පතිභක්‌තිය දැක්‌වූ බවක්‌ද රාමායණයේ සඳහන් වේ. තම ස්‌වාමියාගේ වියෝව වෙනුවෙන් තම ජීවිතය ස්‌වාමියාගේම දර සෑයට පූජා කරමින් තම පතිභක්‌තියේ මහිමය කියා පාන කාන්තාවන් අදටත් ඉන්දියාවේ සිටිති. අතීතයේ සිට කටු පූජාව පැවත එන බවට ඒ සාක්‍ෂි හොඳටම ප්‍රමාණවත්ය.

ශරීරයේ කටු ගසා කරන පූජාව දමිළ බසින් අරුත් ගන්වන්නේ 'පරවක්‌ කාවඩි' ලෙසයි. ඉංග්‍රීසියෙන් 'බර්ඩ් කාවඩි' ලෙස හඳුන්වයි.

පරවක්‌ කාවඩි යනු දෙවියන් දීපු ජීවිතය නැවත දෙවියන්ටම භාර කිරීමය. එවිට තම සිරුරේ ඇති සියලු දොස්‌ දුරු වී ජීවිතයට සතුට ළඟාවනවා යෑයි හින්දු බැතිමතුන් අතර විශ්වාසයක්‌ පවතී.

එහෙත් කෙනකුට හිතුමතේ කෝවිලකට දේවාලෙකට ගොස්‌ ගිනි පෑගීම, ශරීරයේ කටු ගසා පූජා පැවත්වීමට නොහැකිය. මෙම පූජා පැවැත්වීමට යම් පිළිවෙතක්‌ තිබේ.

හින්දු ආගමට අනුව නම් ගිනි පෑගීමට සහ ශරීරයේ කටු ගැසීමට මස්‌ මාංසවලින් වැළකී පලතුරු සහ කිරි පමණක්‌ ආහාරයට ගෙන දින හතක්‌ පමණ දෙවියන් වෙනුවෙන්ම කැප වී සිටිය යුතුය.

දැඩි ලෙස යමකට සිත එළඹීම ඇලීමයි. ඇල්ම යනු යමක්‌ කෙරෙහි හෝ යමකු කෙරෙහි අවනතවීම හෝ වශීකෘත බවට පැමිණීමයි. එය භක්‌තියයි. වශීකෘත වූ විට සාමාන්‍ය පුද්ගලයකුගේ ක්‍රියාකාරිත්වයට වඩා පීඩා ආදිය දැරීමේ ශක්‌තියක්‌ ඇති වන බැවින් දෙයක්‌ කෙරෙහි ඇති අධික භක්‌තිය නිසා වශීකෘත තත්ත්වයට පත් වේ. එවිට සිතෙහි උපදින හැඟීම් හේතුවෙන් තාපය හා වේදනා ආදිය පහසුවෙන් විඳදරාගැනීමට හැකි වේ. භාවනා ආදියෙන් සිත එකඟ කර ගැනීමෙන්, සමාධිගත වීමෙන් වේදනා ආදිය නොදැනෙන පරිදි ගිනි පෑගීමේ හැකියාව තිබේ. භක්‌තියක්‌ දැක්‌වීමට කෙරෙන පූජාවන් භක්‌ති පූජා නමින් හැඳින්වේ. බිම පෙරළීමෙන් ද, ගින්නට පැනීමෙන් ද, උල් කටු ආදියෙන් ශරීරය විද ගැනීමෙන්ද, ගෙල සිඳ ගැනීමෙන්ද, කාවාඩි ආදී නැටුම්වලින්ද, ස්‌තෝත්‍ර කියවීමෙන් ද, සංගීත වාදනයේ යෙදීමෙන් ද දෙවි දේවතාවුන්ට භක්‌තිය පුදති.

"හරියට පේ වුණේ නැත්නම් පූජාව කරන්න බැරිව යනවා. මේ පූජාව ලංකාවේ යාපනේ නල්ලූර් කෝවිලේ තමයි මුලින්ම කරල තියෙන්නෙ. දැන් ගොඩක්‌ කෝවිල්වල කරනවා. කටු ගහනකොට පුංචි වේදනාවක්‌ එනවා. නමුත් හරියට දෙවියන්ට පේ වෙලා ඉඳලා පූජාව කළොත් ඇඟේ කොච්චර කටු ගැහුවත් වේදනාවක්‌ දැනෙන්නෙ නැහැ" කොච්චිකඩේ කෝවිලේ පෙරී පූජකතුමා පරවක්‌ කාවඩි පූජාව එසේ විස්‌තර කරමින් සිටියේය.

ශරීරයට කටු ගහනකොට ඇති වෙන තුවාලවලට මොකද කරන්නෙ....?

ගලාගෙන යන කතාව අතරට මම තවත් පැනයක්‌ එසේ යොමු කළෙමි.

"කටු ගහන්නෙ සමට. එතකොට හමේ පුංචි තුවාලයක්‌ තමයි ඇති වෙන්නෙ. ඒ තුවාලවලට දින තුන හතරක්‌ හොඳට කහ ආලේප කෙරුවම හොඳ වෙනවා. වෙන බෙහෙතක්‌ කරන්නෙ නැහැ"

මේ විදිහට කටු ගහනකොට ශරීරවලට විෂබීජ ඇතුළු වෙන්නේ නැද්ද?

නැහැ. කිසිම දවසක කිසිම පූජාවකින් එහෙම වෙලා නැහැ.

කටු ගහන්න පෙර මොනවද කරන්නේ...

කටු ගහන තැන්වල අළු ගානවා. එච්චරයි.

එතකොට මේ පූජාව මුලින්ම පටන් අරගෙන තියෙන්නෙ මොන රටේද?

"ලංකාවේ.. යාපනේ නල්ලූර් කෝවිලේ. නමුත් ලංකාවට වඩා දැන් ඉන්දියාවේ හින්දු භක්‌තිකයන් මේ පූජාව කරනවා. ඉන්දියාවේ අවුරුද්දකට හතර වතාවක්‌ කතරගම දෙවියන් වෙනුවෙන් මේ පූජාව පවත්වනවා. අපේ රටේ අවුරුද්දකට එක සැරයයි කරන්නෙ. සිංගප්පූරුවේ, මැලේසියාවෙත් අවුරුද්දකට එක සැරයයි පූජාව පවත්වන්නෙ"

"ඉන්දියාවේ මේ පූජාව කරන කොට කටු ගහලා කරත්තේ එල්ලලා ඇදගෙන යනවා. ඒ වගේම තමයි ඉන්දියාවෙත් මේ පූජාව කරන්නේ දවස්‌ හතළිස්‌ අටක්‌ පලතුරු, කිරි පමණක්‌ ආහාරයට ගෙන හොඳට පේ වෙලා ඉඳලයි. ඇත්තටම හරියටම කාවඩි ගන්නවා නම් දින 48 ක්‌ නිරාහාරව ඉන්නම ඕනා. එහෙම කළොත් විතරයි පූජාවෙන් නියම ප්‍රතිඵල ගන්න පුළුවන්.

"ඉන්දියාවේ පලනි කෝවිලේ මේ පූජාව කරනකොට පූජාවට පෙර හරියටම දින ගණන පේ වෙලා හිටියද බලන්න පූජාව කරන කෙනා නයෙක්‌ හරි කුකුළෙක්‌ හරි මරලා දෙවියන් ඉදිරියට ගෙනත් තියනවා. පූජාවට හොඳටම පේ වෙලා තියෙනවා නම් මැරිච්ච සතාට නැවත පණ එනවාලු. එතකොට තමයි පූජාවට නියාමාකාරයෙන් පේ වෙලා කියලා විශ්වාස කරන්නෙ"

මේ පූජාව පවත්වන්න වයස්‌ සීමාවක්‌ තියෙනවද?

නැහැ.. ඕනෑම කෙනකුට කරන්න පුළුවන්...

පූජාවේදි කෝවිල්වල කටු ගහන කාර්ය සිදු කරන්නේ කවුද?

ඒකට වෙනම අය ඉන්නවා.. ඒ අය පුහුණු කරලා තියෙන්නෙ..

මම කොච්චිකඩේ කෝවිලේ පෙරී පූජකතුමාට මෙන්ම එම කෝවිලේම සාමිවරයකුට එක දිගට එසේ ප්‍රශ්න වැලක්‌ම යොමු කළෙමි. ඒ සෑම පැනයකටම ඔවුන්ගෙන් සාර්ථක පිළිතුරක්‌ ලැබිණි. දැන් මගේ සිත තුළ තිබූ කුහුල බිඳී ගොස්‌ය. එහෙත් අවසානයේ කියන්නට තවත් යමක්‌ ඉතිරිව ඇත.

කෙනකුට යම් අසනීපයක්‌, රෝගාබාධයක්‌ වූ කල්හි වෙදැදුරන්ගෙන් මෙන්ම, දෙවි දේවතාවුන්ගෙන්ද පිහිටක්‌ පතන බව නොරහසකි. එහි වැරැද්දක්‌ නැත. කෙනකු මොන යම් හෝ සිත්තැවුලකට පත්ව සිටින මොහොතක තමන් අදහන ආගම දහම, දෙවි දේවතාවුන්ට දුක කියා පිහිට පැතීමෙන් සිතට යම් සහනයක්‌ ලැබෙන බව නම් විශ්වාස කිරීමට සාක්‍ෂි නැතුවාම නොවේ. නමුදු යකැදුරන්, භූතයන්, ආරුඪකරුවන්, පේනකරුවන් සහ අංජනම්කරුවන් පසු පස යැමෙන් නම් සිදු වන්නේ ලෙඩේ තවත් ඔද්දල් කර ගැනීම බව නිසැකය. අද මෙලෙස හොර "තක්‌කඩින්" පසු පස යන්නේ නූගත් මිනිසුන් පමණක්‌ නොව මහ 'පණ්‌ඩිතයන්' කියා සිටින අයද මෙවැනි ස්‌ථානවල පිහිට සොයති. එහෙත් ඔවුන්ට එවැනි ස්‌ථානවලින් පිහිට ලැබුණේද කියා අපි නොදනිමු.

එලෙසම කටු ගැසූවෝ ආශිර්වාද ලද්දෝ වී දැයිද අප නොදනී. එහෙත් 'හිත' යනු පුදුම දෙයකි. එකම සිදුවීමක්‌ සිතේ නිමිත්ත අනුව ගතට වේදනාව හෝ සුවය ගෙන දේ. මේ කොක්‌ක නොහිතූ විටක පිටෙහි ඇමිනුනේ නම් වේදනාවෙන් විසඥ විය හැකි ශරීරය, භක්‌තිමත් 'සිත' ඉදිරියේ පියාඹන 'කුරුළු පහසක්‌' ලබාදෙයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all