Photobucket

Sunday, February 24, 2013

දැයට කිරුළින් මහපාරට මිලියන 16000ක්

මෙවර දැයට කිරුළ වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම මාර්ග හා පාලම් රුපියල් මිලියන 16000ක වියදමින් පුළුල් කර සංවර්ධනය කෙරේ.

 මේ අනුව ප්‍රධාන ලෙස අම්පාර නගරයේ සියලුම මාර්ග පද්ධතියත්, අම්පාර නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ලමත් කාපට් අතුරා මංතීරු දෙකක් ඇතිවෙන ලෙස සංවර්ධනය කරන බව මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා පවසයි. සියලු සංවර්ධන කටයුතු දැයට කිරුළ ඇරැඹීමට පෙර මහජන අයිතියට පැවරේ.

ඒ අනුව දැනටමත් මහඔය අරලගන්විල මාර්ගය රුපියල් මිලියන 2700ක වියදමින් ද, අම්පාර මහනුවර මාර්ගයේ අම්පාරේ සිට මහඔය දක්වා පුළුල් කිරීමට රුපියල් මිලියන 2250 වියදමින් ද මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ. මහඔය මඩකළපු මාර්ගයේ මහ පාලම් පහක් ඉදිකිරීම ද දැන් සිදු කෙරේ. ඒ වියදම රුපියල් මිලියන 1500කි.

අම්පාර බිබිල මාර්ගය පුළුල් කර කාපට් ඇතිරීම ද පසුගියදා ආරම්භ විය. වියදම රුපියල් මිලියන 4688කි. අම්පාර නගරයේ ඩී.ඇස්.සේනානායක මාර්ගය මංතීරු 4ක් සහිතව පුළුල් කර කාපට් ඇතිරීමට රුපියල් මිලියන 500ක් වැයකර තිබේ.

මහඔය, පදියතලාව, උහන, ලාහුගල, දමන, නාමල්ඔය ප්‍රාදේශීය සභා බළ ප්‍රදේශවල අති දුෂ්කර ගම්මානවලට යාමට ඇති ප්‍රධාන මාර්ග සියල්ලම කොන්ක්‍රීට් කර තිබේ. 

මහඔය ඈත පිටිසර වාරාපිටිය දක්වා මාර්ගය ද උහන ප්‍රදේශයේ ලාතුගල, බණ්ඩාරදූව, කහටගස්යාය ගම්මාන දක්වා ද මාර්ග කොන්ක්‍රීට් කර තිබේ. මෙම මාර්ග සෑදීමට රුපියල් මිලියන 2000ක් පමණ වැය කර තිබේ. 

තවත් ඉතුරු වී ඇති දුෂ්කර මාර්ග තැනීම සිදු කරමින් පවතී. දැයට කිරුළට සමගාමීව අම්පාර නගරය පුරා බොහෝ මාවත් තාර දමා කාපට් කර තිබේ.

ඒ අනුව වන සංරක්ෂණ මාවතට රුපියල් මිලියන 78ක් ද ධර්මරතන මාවතට රුපියල් මිලියන 125ක් ද දීඝවාපී පූජා භූමියේ මාවතට රුපියල් මිලියන 264ක් ද වරිපතන්චේන මාර්ගයට රුපියල් මිලියන 70ක් ද කෙත්සිරි මාර්ගයට රුපියල් මිලියන 70ක් ද දීඝවාපී බටහිර මාර්ගයට රුපියල් මිලියන 140ක් වෙන්කර මේ වන විට වැඩ නිම කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all