Photobucket

Friday, February 22, 2013

හමුදාවේ 100ක්‌ පොලිසියේ 70ක්‌ මහ කැලෑවේ මහ මෙහෙයුමක්‌!

වැලිකන්ද ඕවඩියාමඩුව ප්‍රදේශයේදී කොල්ලකරුවන් පිරිසක්‌ සහ වැලිකන්ද පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ අතර (19 වැනිදා) රාත්‍රි ඇතිවූ වෙඩි හුවමාරුවක්‌ නිසා එම ප්‍රදේශය පුංචි යුද පිටියක්‌ බවට පත්විය.

මෙම සිද්ධියෙන් වැලිකන්ද පොලිසියේ කොස්‌තාපල් (63333) පුංචිහේවා තුවාල ලැබූ අතර ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පොළොන්නරුව රෝහලට මාරුකර යවා තිබේ.

මෙම වෙඩි හුවමාරුව සිදුවී ඇත්තේ වැලිකන්ද ප්‍රදේශයේ සැරිසරන සන්නද්ධ කොල්ල කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකන්ද පොලිස්‌ ස්‌ථානාධිපති ඒ. එස්‌. එම්. ජුවල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එහි ගිය අවස්‌ථාවේදීය.

පෙරේදා රාත්‍රි 8.30 ට පමණ පොලිස්‌ කණ්‌ඩායම වැලිකන්ද ඕවඩියාමඩුව ප්‍රදේශයට ගිය අවස්‌ථාවේ සන්නද්ධ කණ්‌ඩායම පොලිස්‌ නිලධාරීන්ට ටී 56 ගිනි අවිවලින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

එහිදී පොලිස්‌ නිලධාරීන්ද කොල්ලකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර පැය භාගයකට ආසන්න කාලයක්‌ මෙම ගැටුම පැවතිණි. පසුව කොල්ලකරුවන් කැලෑ ප්‍රදේශයට පලාගොස්‌ තිබේ.

මෙම සිද්ධියෙන් පසු කළ සෝදිසි මෙහෙයුමකදී කොල්ලකරුවන් පැමිණි යතුරුපැදියක්‌, ජංගම දුරකථන කීපයක්‌, හැඳුනුම්පත් ඇතුළු තවත් භාණ්‌ඩ පොලිසිය විසින් සොයා ගන්නා ලදි. මෙම සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සරත් කුමාර ජෝශප් මහතා කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක්‌ ආරම්භ කළේය.

එම මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් සියයකට ආසන්න පිරිසක්‌ද පොලිස්‌ නිලධාරීන් 70 දෙනෙකුද යොදවා තිබිණි.

එහෙත්  (20 දා) දහවල් වන තුරුත් කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබා පලා ගිය කොල්ලකරුවන් ප්‍රදේශයේ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූවන් බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ. වැලිකන්ද පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all