Photobucket

Thursday, January 3, 2013

මැණික් ගල් පෙන්වා රන් මාල කඩන කාන්තාවක් සොයා පරීක්ෂණ

විවිධ වර්ගවල මැණික් ගල් පෙන්වමින් ඒවා ලාබෙට දෙන බව පවසමින් මහ මඟ යන කාන්තාවන්ගේ නෙත් සිත් ඒ කෙරෙහි යොමු කොට ඔවුන් පැළඳ සිටින රන්මාල, මුදු ආදිය පැහැරගෙන ත්‍රිරෝද රියකින් පලායන කාන්තාවක් ගැන වේයන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

එම කාන්තාව විසින් ඉකුත් සතියේ දී වේයන්ගොඩ නගරයේ දී කාන්තාවන් දෙදෙනකුගේ රන්මාල හා මුදු ඒ අයුරින් කොල්ලකා ඇත.

එම කාන්තාවන් දෙදෙනා විසින් පොලිසියට කර ඇති පැමිණිලි අනුව සැකකාර කාන්තාව මහ මඟ ගමන් කරමින් සිටි තමන් ඉදිරියට පැමිණ මැණික් ගල් කීපයක් පෙන්වා ඒවා, ග්‍රහ අපල දුරු කිරීමට, ආරක්ෂාවට, පළදින කාක නිල, පුෂ්පරාග, වෛරොඩි වශයෙන් හඳුන්වා දී, මැණික් පතල්වල රැකියාව කරන තම සැමියා බරපතළ ලෙස රෝගාතුරව රෝහල්ගතව සිටින බවත්, ඔහුට ශල්‍යකර්මයක් කිරීමට විශාල මුදලක් අවශ්‍යව තිබෙන නිසා මෙම මැණික් ගල් අඩු මුදලකට දෙන බවත් පවසා ඇත.

කාන්තාවන් මැණික් ගල් පරීක්‍ෂා කර බලද්දී එම කාන්තාවන් ගෙල පැළඳි රන්මාල කඩාගෙන ඇති අතර, ඒ සමඟම එතැනට පැමිණි ත්‍රිරෝද රියක නැගී සැකකාරිය පලාගොස් ඇති බවද පැමිණිලිවල සඳහන් වේ. 

වේයන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රේමරත්න, සැරයන් (3789) කුමාරසිරි, සහ පද්මසිරි යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all