Photobucket

Tuesday, January 8, 2013

වූල් නූලෙන් ආහාරපාන ගොතන අපූරු කලාව

යෞවනියකව සිටියදී ඉගෙන ගත් ගොතන කටු ආධාරයෙන් සිදුකෙරෙන වූල් ගෙතීමේ කලාව ‘කේට් ජෙන්කින්ස්’ අද වනවිට යොදාගෙන ඇත්තේ අපූරුම තා‍ලේ නිර්මාණයන් සඳහාය. ඒ ‘හෙයින්ස් කෙචප්’, ‘කොකා කෝලා’, ‘ස්ටාර් බක්ස් කෝපි’ වැනි ජාත්‍යන්තර තලයේ ප්‍රකට වෙළෙඳනාම යටතේ එන ආහාර වර්ග වූල් ගෙතීමේ කලාව මගින් නිර්මාණය කිරීමයි. බ්‍රිතාන්‍යයේ නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තයේ ‘බ්‍රයිටන්’හි වෙසෙන හතළිස් එක් හැවිරිදි ජෙන්කින්ස්ගේ අතින් ගොතන මෙබඳු වූල් නිර්මාණ කෙතරම් සියුම් හා තාත්වික බවින් යුතුද යත් ඒවා අලෙවි වනුයේ එකක් බ්‍රිතාන්‍ය පවුම් හයසීයක් වැනි අවම මිලක සිට ඉහළ මිල ගණන් දක්වාය. 

ගොතන කටුවක් හා බැටලු ලොමින් තැනූ වූල් නූල් ආධාරයෙන් නිර්මාණකරණයේ යෙදෙන ජෙන්කින්ස් සිය නිර්මාණවල තාත්විකත්වය හැකිතරම් ඉස්මතු කිරීම සඳහා ඒවා මත අතිරේක මෝස්තර ගෙත්තම් කිරීමටද පෙළඹී සිටින්නීය. ප්‍රධානකොටම ආහාර වර්ග තේමා කරගනිමින් සිය ගෙත්තම් නිර්මාණ සිදුකරන කේට්ගේ ‘කේට් කැෆේ’ නමැති ප්‍රදර්ශනයේදී රාත්‍රී භෝජන සාදයකදී දැකිය හැකි ආහාර වර්ග කදිමට වූල් ගෙතීමේ කලාව මගින් නිරූපණයකොට තිබුණු අතර පසුගිය දිනකදී නිව්යෝක් නුවර පැවැති ප්‍රදර්ශනයකදී ඇය ඉදිරිපත්කොට තිබුණේ ඇමෙරිකානු පන්නයේ අවන්හලකදී දැකගත හැකි ආහාරය. අවුරුදු පහළොවේදී සිය මවගේ හා මිත්තණියගේ මගපෙන්වීම යටතේ වූල් ගෙතීමේ කලාවට අවතීර්ණ වූ කේට් ජෙන්කින්ස්ගේ නිර්මාණයන්ට ප්‍රධාන වශයෙන්ම තේමා වනුයේ විවිධ ආහාර වර්ග හා ඒවා අසුරා ඇති ආකාරය දැක්වෙන මෝස්තරයන්ය. 

මේ නිසාම සිය නිර්මාණයේ තාත්විකත්වය ඔප්නැංවීමේ අරමුණින් ඒවායේ ත්‍රිමාණ ස්වරූපය පිළිබඳ විස්තරාත්මක අවබෝධයක් ලැබිම සඳහා නිතරම ආහාර වර්ග මිලදී ගැනීම කේට්ගේ ෙදෙනික පුරුද්දක් බවට පත්ව ඇත. ඊට අමතරව සූපවේදය පිළිබඳ ලියැවුණු ‍පොත්පත් හා සඟරා ආදියෙන්ද ඇය සිය නිර්මාණ සඳහා අදහස් උකහා ගත්තාය. බැටලු ලොම් අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන කේට් හට ඇතැම් විට එක් නිර්මාණයක් සම්පූර්ණ කිරීම සඳහා ගතවන කාලය දින කීපයක සිට සති දෙකක් වැනි දීර්ඝ කාලයක් වුවද විය හැකි නමුදු නිර්මාණ සඳහා වැයවන වූල් ප්‍රමාණය නම් ඉතා සිමීත බව ඇය පවසන්නීය. එසේ නමුදු සිය  චිත්‍රාගාරය නානාවිධ වර්ණැති වූල් බෝලවලින් නිතරම පුරවා තැබිමට ඇය අමතක නොකරන්නේ වූල් ගෙතීම අද වනවිට ඇගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති හෙයිනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all