Photobucket

Monday, January 14, 2013

හොර සුරා දඩය ලක්‍ෂ 57ක්

කෑගල්ල අරණායක පොලිස් බල ප්‍රදේශයේ 2012 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට දෙසැම්බර් මස 31 වැනි දින දක්වා වූ කාලය ඇතුළතදී සිදුකළ වැටලීම්වලින් නීති විරෝධී මත්පැන් ව්‍යාපාර සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රජයට රුපියල් 5777900/-ක දඩ මුදලක් ලැබී ඇත.

මෙහිදී කසිප්පු ළඟ තබාගත් පුද්ගලයන්84 දෙනකුද, නීති විරෝධී වෙනත් මත්ද්‍රව්‍ය හා බීම ළඟ තබාගත් පුද්ගලයන් 257ක්, ගංජා ළඟ තබා ගත් පුද්ගලයන් 44 දෙනකුද අධිකරණය ඉදිරියට පමුණුවා ඇති අතර, එම නඩු කටයුතු අරණායක පොලිස් ස්ථානාධිපති බුද්ධි පාදෙනිය මහතා ඇතුළු අපරාධ අංශ ස්ථානාධිපති වෝල්ටර් රණසිංහ මහතා විසින් මෙහෙයවා තිබේ.

අරණායක පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඉකුත් 2012 වසරේ සිදුකළ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාපාර වැටලීමේ ප්‍රගතිය පිළිබඳව පොලිස් නිලධාරි පිරිස් හා ප්‍රදේශයේ සිවිල් ආරක්‍ෂක කමිටු නියෝජිත පිරිස් දැනුවත් කිරීමේ අවස්ථාවේදී මේ තොරතුරු අනාවරණය වුණි.

ඉකුත් වසර ඇතුළතදී අරණායක පොලිසියේ අපරාධ අංශ මෙහෙයුම් නිලධාරි පිරිස් දිවා රෑ නොබලා සිදු කරන ලද වැටලීම් හා මර්දන කටයුතු නිසා ඉතා ශීඝ්‍රයෙන් අරණායක පොලිස් බල ප්‍රදේශයේ ගම්මානවල හා නගරාසන්න පෙදෙස්වල පැතිර ගිය විවිධ නීති විරෝධී ක්‍රියාවන් හා නීති විරෝධී කසිප්පු ව්‍යාපාර හා වෙනත් අපරාධ ක්‍රියාවන්හි අඩුවීමක් සිදුව ඇති නිසා ඉදිරියේදීද මත්ද්‍රව්‍ය අපරාධ මර්දනය වෙනුවෙන් විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් ස්ථානාධිපති බුද්ධි පාදෙණිය මහතා කීය.

ත්‍රිරෝද රථ යොදා ගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම් හා ත්‍රිරෝද නැවතුම් ස්ථානවලදී ඒවාට ගොඩවී මත් ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිිටින පුද්ගලයන් ගැනද තොරතුරු ලැබී ඇති හෙයින් එම ත්‍රීවීල් රථ රියැදුරන්ගේ නීති විරෝධී ක්‍රියා මර්දනයට පොලිසියේ අවධානය යොමුවිය යුතුයැයි සිවිල් ආරක්‍ෂක කමිටුවේ නිලධාරියෙක් පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all