Photobucket

Tuesday, December 4, 2012

අය වැයෙන් තරුණ පරපුර 'නොසලකා හැරලා'

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද අය වැය මගින් ලක්ෂ 75 කට ආසන්න ශ්‍රී ලංකාවේ තරුණ පිරිස නොසලකා හැර ඇතැයි සමාජවාදී තරුණ සංගමය චෝදනා කරයි.

 එහි ජාතික සංවිධායක බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඒ වෙනුවට ජනාධිපතිවරයා සිය පුත්‍රයන්ට රේස් පැදීම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කරමින් සිටින බවයි.

වයස 15-35 ත් අතර තරුණ තරුණියන් ලක්ෂ විස්සක් පමණ රැකියා විරහිතයන් බව ද සමාජවාදී තරුණ සංගමය පෙන්වා දෙයි.

"මේ රටේ අවස්ථා නැති නිසා තමයි අපේ රටේ තරුණ තරුණියන් නීත්‍යානුකූල නොවන ක්‍රමවලින් ඉතාලි යන්න, ඕස්ට්‍රේලියාවට යන්න උත්සාහ කරන්නේ," බිමල් රත්නායක පැවසීය.

උතුරේ 'හමුදා පාලනයක්'

"අද මීගමුව බන්ධනාගාරයේ 1200 ක් පමණ රැඳවියන් වශයෙන් තබාගෙන ඉන්නවා කවුද? තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න මාර්ගය මේ රටේ පාලකයෝ හදල දීල නැති නිසා, ඉතාලි යන්න ගිහිල්ලා, දැන් අන්තිමට ණයකාරයෝ සහ හිරකාරයෝ වෙච්ච තරුණ තරුණියෝ"
බිමල් රත්නායක, සමාජවාදී තරුණ සංගමය

වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු: "අද මීගමුව බන්ධනාගාරයේ 1200 ක් පමණ රැඳවියන් වශයෙන් තබාගෙන ඉන්නවා කවුද? තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න මාර්ගය මේ රටේ පාලකයෝ හදල දීල නැති නිසා, ඉතාලි යන්න ගිහිල්ලා, දැන් අන්තිමට ණයකාරයෝ සහ හිරකාරයෝ වෙච්ච තරුණ තරුණියෝ," බව ද සඳහන් කළේය.

මේ තත්ත්වය හමුවේ තරුණ තරුණියන් අතර සියදිවි හානි කරගැනීම් ද ඉහල ගොස් ඇති බවයි, ඔහු පවසන්නේ.

"ලෝකයේ සියදිවි නසාගැනීම් වැඩි රටවල් වලින් පස්වැනි තැන හිමිවන්නේ ශී‍්‍ර ලංකාවටයි."

ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ අයිතිවාසිකම් දිනා දීම සඳහා පියවර ගන්නා බවට ප්‍රතිඥා දුන් අවස්ථාවේ බීබීසී යේ කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දු හිටපු ජවිපෙ මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ යලිත් වරක් තරුණ පරපුර සන්නද්ධ ව්‍යාපාරයකට යොමු කරන්නට සැරසෙන බවට පක්ෂයට මෙහිදී චෝදනා එල්ල විය හැකි නොවේද යන්නයි.

"අපි සටන් කරන්න බය නෑ. ආණ්ඩුවේ බොරු ලේබල් වලට, ආණ්ඩුවේ බොරු මඩ ගැසීම් වලට බයවෙලා අපි සටන් නතර කරන්නේ නෑ," යන්න එම ප්‍රශ්නයට ඔහුගෙන් පළ වූ ප්‍රතිචාරයයි.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා උතුරේ ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කොට ඇති අරගලය පිළිබඳව අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා, එල්ටීටී යේ "ජාතිවාදී, බෙදුම්වාදී දේශපාලනයෙන් ගැලවුණු" උතුරේ ජනතාවට ඒකීය ලංකාවක් තුල ජීවත්වීම සඳහා අවශ්‍ය මානසිකත්වය ගොඩ නගනු වෙනුවට මහින්ද රාජපක්ෂ පාලනය කරමින් සිටින්නේ උතුරේ තවදුරටත් "හමුදා පාලනයක්" පවත්වාගෙන යාම බව පැවසීය.

බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all