Photobucket

Saturday, December 29, 2012

විභාග වංචාවේ සැකකරුවෝ සියලු දෙනාම යළි රිමාන්ඩ්

2012 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ අංක 1 විද්‍යාව විෂය ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිටවීමේ වංචාවට අදාළව දැනට රිමාන්ඩ් භාරයට පත්කර සිටින සැකකරුවන් පස්‌දෙනා අතරින් විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර (ලිතෝ) ක්‍රියාකරු වන මංගල ප්‍රියශාන්ත යන අයගෙන් තවදුරටත් පරීක්‍ෂණවලට අදාළ කරුණු කිහිපයක්‌ ගැන ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන් කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඔහු ඇතුළු සියලුම සැකකරුවන් 2013 ජනවාරි 10 දා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළාය.

ටියුෂන් ගුරුවරයකු වන කැලණිය දිප්පිටිය පාරේ අංක 378/1 ස්‌ථානයේ පදිංචි අත්තටගේ චන්දන සම්පත්, ඔහුගේ කාර්යාල සහායකයකු වන ලක්‍ෂාන් ජයසිංහ, ගම්පහ නයිවල සැලුන්හලක්‌ පවත්වා ගෙන යන නිරෝෂන් සංජීව, එම ප්‍රදේශයේ ටියුෂන් පංතියක්‌ පවත්වා ගෙන යන සිරිවර්ධන ජයසේකර හා විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර (ලිතෝ) ක්‍රියාකරු මංගල ප්‍රියශාන්ත නමැති අය මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූහ.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ රහස්‌ පොලිසියේ සැරයන් විඡේසූරිය මහතා සමඟ අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් ගමගේ මහතා වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණගත කරමින් මෙම ප්‍රශ්න පත්‍ර පිට කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පරිගණක යන්ත්‍ර දෙකක්‌ හා ස්‌කෑන් යන්ත්‍රයක්‌ ද සැකකරුවන් විසින් හුවමාරු කර ගන්නා ලද චෙක්‌පත් දෙකක්‌ ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම පරිගණක යන්ත්‍ර කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයා වෙත යවා ඊට අදාළ විශ්ලේෂණ වාර්තා ලබාගැනීමටත් අදාළ චෙක්‌පත් සම්බන්ධයෙන් එම බැංකු වාර්තා ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට විනිසුරුවරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශයේ ඉන්දිකා ශ්‍යාමලී නමැත්තියකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද අධිකරණයට දන්වා සිටියේය.

තවද පළමුවන සැකකාර ටියුෂන් ගුරු චන්දන සම්පත් යන අය ආදර්ශ ප්‍රශ්න පත්‍ර සකස්‌ කිරීමට තමාට ඇති හැකියාව හා පළපුරුද්ද අනුව ආදර්ශ ප්‍රශ්න පත්‍ර සකස්‌ කළ බව ප්‍රකාශ කර ඇතත් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන වාර්තාවක්‌ ඉදිරි විමර්ශන වාර්තා සමඟ අධිකරණයට ලබාදෙන බව පොලිස්‌ සැරයන් විඡේසූරිය මහතා ප්‍රකාශ කළේය.

විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය - විභාග දෙපාර්තමේන්තුවට වලංගු වන පනතක්‌ තිබෙනවා. මෙවැනි ප්‍රශ්න පත්‍ර සකස්‌ කිරීමට අදාළව රහස්‍යභාවය හා නීතිය රැකගැනීම විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරිය කරන රාජ්‍ය සේවකයන්ගේ වගකීමක්‌. එසේ නොවුණොත් මෙවැනි සිදුවීම් තුළින් මේ රටේ උසස්‌ විභාගවලට පෙනී සිටින ලක්‍ෂ සංඛ්‍යාත සිසුන්ගේ මානසිකත්වයටත් අනාගතයටත් විශාල අගතියක්‌ වන්න ඉඩ තිබෙනවා.

නීතිඥවරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු කිහිපයක්‌ ගැන සැලකිලිමත් වූ විනිසුරුවරිය මෙසේ කීවාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ලක්‌ නිකන්ම අධිකරණගත කරන්නට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නැහැ. මේ සිද්ධිය ගැන මෙතෙක්‌ සිදුකළ පරීක්‍ෂණ ගැන සැලකිලිමත් වීමේදී සැකකරුවනට ඇප ලබාදීම කළ නොහැකියි. ඇප පනතේ 14/ආ ඡේදය අනුව සියලුම සැකකරුවන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කරනවා.

මෙම පැමිණිල්ලේ 1 හා 2 සැකකරුවන් වෙනුවෙන් නීතිඥ චින්තන විඡේසූරිය, නීතිඥ සිසිර ජයසේකර යන මහත්වරු ද, 3 හා 5 සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුජීව ගුණතිලක මහතා ද, 4 වැනි සැකකරු වෙනුවෙන් නීතිඥ සිරිපාල අමරසේකර හා නාමල් රාජපක්‍ෂ යන මහත්වරු ද කරුණු දැක්‌වූහ.

වැඩිදුර විභාගය 2013 ජනවාරි 10 දිනට කල් තබන ලදී. එතෙක්‌ සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all