Photobucket

Monday, December 3, 2012

පල්ලම පොලිසිය විල්පත දී වැරදි සෙල්ලමක පැටලිලා

ශ්‍රමදාන මට්ටමින් ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් තිබූ මාර්ගයකට අවශ්‍යය බොරළු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ දෙකක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගම පල්ලම පොලිස් ස්ථානය ඉදිරිපිට අද(02) උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 

තම බල ප්‍රදේශයේ ඇති අබලන් අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ සටහනක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විසින් මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතී. මේ සඳහා වයඹ පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ සහායද ලැබී ඇති අතර අදාල ප්‍රතිසංස්කරණ කටයුතු එම ප්‍රදේශවල ස්වෙච්ඡා සංවිධාන විසින් සිදු කරගෙන ගොස් ඇත. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට මෙන්ම පල්ලම පොලිස් බල ප්‍රදේශයට අයත් විල්පත ප්‍රදේශයේ අතුරු මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම 02 වැනිදා සිදු කරමින් තිබී ඇත.එහිදී මාර්ග වලට අවශ්‍ය බොරළු ප්‍රදේශයේ පුද්ගලික ඉඩම් හිමියෙකු විසින් ලබා දී ඇති අතර ප්‍රවාහන පහසුකම් ප්‍රදේශයේ ලොරි හිමියන් විසින් සිදු කර ඇත.මාර්ග වලට බොරළු ඇතිරීම ප්‍රදේශවාසීන් විසින් ශ්‍රමදාන මට්ටමින් සිදු කරමින් සිට ඇත.

මේ ආකාරයට මාර්ග ප්‍රතිසංස්කරණය කරමින් සිටින විට එම ස්ථානයට කඩා වැදී ඇති පල්ලම පොලීසියේ නිළධාරීන් කණ්ඩායමක් බොරළු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන පල්ලම පොලීසිය දක්වා රැගෙන ගොස් ඇත.මේ බව දැන ගත් ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් පල්ලම පොලිස් ස්ථානය ඉදිරිපිටට රැස්වී තමන් විරෝධය පොලීසියට දක්වා ඇත.පසුව එම ස්ථානයට පැමිණ ඇති ආණමඩුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් කරුණු පැහැදිලි කිරීමෙන් පසුව පිරිස විසිර ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට පල්ලම පොලීසියේ නිළදාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එය නිෂ්පල විය.

ජුඩ් සමන්ත. 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all