Photobucket

Sunday, December 2, 2012

මන්ත්‍රීගේ රියේ ආයුධ සහ ගංජා

හම්බන්තොට දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ඇතුළු තිදෙනෙකු ගමන් ගත් ජීප් රථයක් තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේ දී අනතුරකට ලක් වූ අතර එම ජීප් රථයෙන් අවි ආයුධ සහ ගංජා සොයා ගැනීම ගෙවී ගිය සතියේ කාගේත් අවධානයට ලක්වුණු සිදුවීමකි.

දේශපාලන ක්‍ෂේත්‍රයේද දැඩි කථා බහකට ලක්ව ඇති එකී සිද්ධියෙන් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා ගලවා ගැනීමට ඔහුට හිතෛෂී දේශපාලනඥයන් දැඩි සටනක නිරතවන බවද සඳහන්ය. ඒ ගංජා සහ ගිනි අවි සම්බන්ධයෙනි. ඔහුට එල්ල වීමට ඉඩ ඇති චෝදනාවලින් ගලවා ගැනීමටය.

දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා නියෝජනය කරනුයේ එජාපයේ එක් පාර්ශ්වයකි. ඔහු එකී පාර්ශ්වයේ ප්‍රධානියාගේ සමීපතමයකු බවද පැවැසේ. දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයාට යම් අකරතැබ්බයක් වුවහොත් එහි පාඩුව වඩාත්ම දැනෙන්නේ ඔහු නියෝජනය කරනු ලබන එජාප පාර්ශ්වයේ උදවියටය. ඒ නිසා දිලිප් වෙදආරච්චි වෙනුවෙන් ඔවුන් මේ වනවිටත් බොහෝ  මැදිහත් වීම් කරමින් සිටින බව අනාවරණය වේ.

‍පොලිස් මූලස්ථානය නිවේදනය කළ ආකාරයට  අනුව දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා අනතුරට ලක්වුණු පෙජරෝ වර්ගයේ ජීප් රථයෙන් හමුවී ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනි අවියක්, රිවෝල්වරයක්, 0.38  ප්‍රමාණයේ පතරොම් 06 ක් බෝර 12 පතොරම් 11 ක් සහ ගංජා ග්‍රෑම් 36 යි මිලිග්‍රෑම් 600කි.

මෙම අවි ආයුධ සහ ගංජා හමුවන්නේ ඉකුත් 27 වෙනිදා සිදුවුණු ඒ රිය අනතුරින් පසු ජීප් රථය හුංගම ‍පොලිසියේ පරීක්ෂාවට ලක්වීමේ දීය.

දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයාගේ දකුණු පස ඉළ ඇට කිහිපයක්ද ඔහු සමග ජීප් රථයේ ගමන් කරමින් සිටි. එච්. ප්‍රේමචන්ද්‍ර සහ මනෝජ් රුචිරංග නමැති සඟයන්ගේ අත් පා ද බිඳ දැමුණු ඒ අනතුර මාරක රිය අනතුරකි. මෙම ජීප් රථය අනතුරට ලක්වන්නේ මහමග රැඳී සිටි අහිංසක වැසියෙකු යටකර  මරා දමමිනි.
පාලනයෙන් තොරව අධික වේගයකින් ගමන් කර ඇති ජීප් රථය අවසානයේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ මගී  බස් රථයක ද ගැටී තිබේ. එයින් ජිප් රථයේ ඉදිරිපස කොටස ‍පොඩි පට්ටම් වී ඇත.

ජීප් රථය ‍පොඩි පට්ටම් වී ඇති ආකාරයට අනුව එහි ගමන් කළ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම මේ තරමින් බේරීම පුදුමයකි. ඒ තරමට එම අනතුර බරපතළය.

මෙහිදී මගී බස් රථයට එතරම් විශාල හානියක් සිදුවී ඇති බවක් නොපෙනේ. මගී බස් රථයේ සිටියවුන් වහා ක්‍රියාත්මක නොවන්නට දිලිප් වෙදආරච්චි ඇතුළු ඔහුගේ සගයන් ජීප් රථය තුළම මියැදෙන්නට තිබිණි. ජීප් රථයේ සිරවී සිටි ඔවුන් පිටතට ගන්නා විට අධික ලෙස මත්පැන් ගඳ වහනය වූ බවට තොරතුරුද ‍පොලිසිය සතුව ඇත. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මතෛක් ලැබි නැති බැවින් ‍පොලිසිය එය අපේක්ෂාවෙන් සිටියි.

එම අනතුර සිදුවන්නේ හරියටම එදින පාන්දර 3.30 ට පමණය. මන්ත්‍රී වෙදආරච්චි ඇතුළු කණ්ඩායම ගමන් ගත් ජීප් රථයේ ගැටී මියයන්නේ රත්න වාඩිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එස්.එන්. සිරිල්ය. තිස් නව හැවිරිදි ඔහු මෙදින අලුයම නිවසේ සිට මහ පාරට එන්නේ ඔහුගේ නැන්දනියන් දෙදෙනෙකු කතරගම යන්නට බස් රථයට ගොඩ කරන්නටය.

බෑණා අපි දෙන්න එක්කරගෙන පාරට ආවා. පාර අයිනේ අපි හිටියේ. ඈතින් කතරගම බස් එක එනවා දැක්කා. බෑණා බස් එකට අත දික්කර නවත්වන්න සංඥා කළා.

 ඒ එක්කම පාරේ අනිත් පැත්තෙන් ආපු ජීප් එකක් බෑණාව හප්පාගෙන හයියෙන්ම  ගිහින් බස් එකේ හැප්පුණා. බෑණා මීටර්  හත අටක් ඈතට උඩින් විසි වී ගොස් බිම වැටුණා. ඒ අනතුර සියැසින් දුටු සිරිල්ගේ නැන්දනිය එච්.එම්. කරුණාවතී ඒ බිහිසුණු අනතුරේ මතකය අවදිකරනුයේ එසේය.

ජීප් රථය පැමිණි වේගයට මහ මග අයිනේ රැඳී සිටි තමන්ද ඈතට විසිවී ගිය බව ඇය පවසන්නීය.

‍පොලිසිය පවසන්නේ ජීප් රථය ගමන් කර ඇත්තේ මාර්ගයේ වැරදි පැත්තේ බවය. අධික වේගයකින් ජීප් රථය ගමන් කර ඇති බවක් පෙනී යන බවද උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ජීප් රථයට සිදුවී ඇති හානියෙන්ම ඒ බව පැහැදිලි වන බව ඔහු පවසයි.

‍පොලිස් මූලස්ථානය පවසන්නේ අනතුර සම්බන්ධයෙන් ජීප් රථය පැදවූ බව කියන රියැදුරා අත්අඩංගුවට ගත් බවයි. එහෙත් ඔහු තවමත් සිටින්නේ තංගල්ල රෝහ‍ලේ ප්‍රතිකාර ලබමිනි.

දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මෙසේ අනතුරට ලක්වන්නේ තිස්සමහාරාමයේ මඟුල් ගෙදරකට ගොස් පැමිණෙමින් සිටියදී  බවට කතාවක්ද, තිස්සමහාරාමයේ මළ ගෙදරකට ගොස් තංගල්‍ලේ  පිහිටි නිවසට යමින් සිටියදී බවට කතාවක් ද පවතී.

ජීප් රථයේ ගිනි අවි තිබුණු බැවින් තවත් කතාවකින් කියැවෙන්නේ මන්ත්‍රීවරයා  ඇතුළු පිරිස දඩයමේ ගොස් පැමිණෙමින් සිටියදී අනතුරට ලක්වී ඇති බවය.

ජීප් එකේ තිබිල හම්බ වුණ බෝර 12 ෂොට් ගන් එකට ලයිසන් තියෙනව කියලයි අපිට ආරංචි . ඒ ආයුධය වාහනේ ඩ්‍රැයිවර්ට අයිති එකක් වගෙයි පෙනෙන්නේ. ඔහුට කතරගම පැත්තේ ගෙස්ට් එකක් තියෙනවා. අපිට ආරංචි හැටියට මන්ත්‍රීතුමා එන්නේ ඒ ගෙස්ට් එකේ ඉඳලයි. එහිදී බිව්වද නැද්ද කියල අපිට කියන්න බැහැ. හැබැයි  එයාල ආයුධ  අරගෙන මේ විදිහට ගමන් කළ එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා.  උසස් ‍පොලිස් නිලධාරියෙක් පවතින තත්ත්වය විස්තර කරනු ලැබුවේ එසේය.

බෝර 12 අවියට බලපත්‍ර ඇති බවක් පැවසුණද රිවෝල්වරයට බලපත්‍ර ඇති බවක්  මතෛක් අනාවරණය වී නැත. ඔවුන් ගංජා රැගෙන ගියේ කුමකටද යන්න ගැනද  ගැටලුවක් පැන නැගේ. ‍පොලිසිය නම් පවසන්නේ ඒ ගංජා ඔවුන් සිය පරිහරණයට මිස ජාවාරමට ගෙන ගිය බවක් නොපෙනෙන  බවයි.
 
ගයාන් කුමාර වීරසිංහ 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all