Photobucket

Wednesday, December 5, 2012

ලෝක විනාශයට බයවුණාට අපිටත්ලොකු පින්කමක් කරගන්න ලැබුණා

රුවන්වැලි සෑ කොත් පැළඳවීමට ගිය මණ්ඩාවල වැසියෝ සතුටින් ඉපිළ යති

ලෝක විනාශය මුල් කොට  මණ්ඩාවල වැසියන් ඉදිකොට  ගත් සුජන ඛන්තාරාම විහාරය සඳහා ස්ථිර භික්ෂූන් වහන්සේ නමක නොමැතිව තවත් වසර කිහිපයක් ගෙවී ගියේ ය. ඊට හේතුව  ඒ වන විට අප රට තුළ සුවිසල් ශාසනික පුනරුදයකට මුල පුරා සිටි බුරුම ජාතික විනයාලංකාර හිමියන් ගේ ශිෂ්‍ය පරම්පරාවේ සංඛ්‍යාත්මක වර්ධනයක් නොමැති වීම ය.

 අමරපුරයෙන් හෙවත් බුරුම දේශයෙන් වැඩම කළ විනයාලංකාර හිමියන් මුල්කොට ගත් මෙම සඟ පරපුර ස්වේජින් නිකාය වශයෙන් හැඳින්වෙන ලදී. එහි මූලස්ථානය වශයෙන් සැලකෙන ලද්දේ ‍පොකුණුවිට විනයාලංකාරය යි.

එවකට ද අප රටේ ස්ථාපිතව තිබූ නිකායන් නමින් හැඳින්වෙන භික්ෂු පරම්පරා අතරින් මෙම ස්වේජින් නිකාය කරුණු කිහපයක් මත මුල් කාලයේ සිටම කැපී පෙනිණ.

එම නිකායික භික්ෂූන් වහන්සේලා බුදු දහමේ මනෝ විද්‍යාත්මක පක්ෂය වන අභිධර්මය කෙරෙහි වැඩි නැඹුරුවක් පළ කිරීම ඊට මුල් වූ පළමු හේතුව විය. දෙවැන්න වූයේ භික්ෂු ජීවිතයක වැදගත්ම අංග වශයෙන්  සැලකෙන  අල්පේච්ඡතාව මත පදනම් විනය ප්‍රඥප්තීන් කෙරෙහි දැඩිව බැඳී සිටීමේ දැඩි නැඹුරුවක් මෙම භික්ෂූන් වහන්සේ ලා කෙරෙන් දක්නට ලැබිම ය. මෙය අප රට තුළ නව ශාසනික ප්‍රබෝධයක් ඇති කරන්නක් ද විය.

ස්වේජින් නිකායික සඟ පරපුර ඇරඹීම පිණිස විනයාලංකාර හිමියන් විසින් 1907 වසරේ දී බුරුම ජාතික ජයන්ත හිමියනට අමතරව රැන්ගුන් නුවර මහාධම්මදීපිකාරාමයෙන් 'ජින' නම් භික්ෂූන් වහන්සේ නමක ද මෙරටට වැඩම කරවන ලදී.

ප්‍රථම ශ්‍රී ලාංකික ස්වේජින් නිකායික භික්ෂූන් වශයෙන් එකවර කුල කුමරුවන් විසි හත් දෙනකු පැවිදි කොට ඇත්තේ 'ජින' හිමියන්ගේ ද සහභාගීත්වයෙනි.

හොරණට නොදුරු පිටිසර ගමක දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන සහ මුණසිංහගේ ‍පොඩිනෝනා දම්පතීන්ට දාව උපන්  රුබෙල් නම් නව හැවිරිදි කුල කුමරුවා එවර එසේ පැවිදි බව ලැබූ ළා බාලතමයා විය. එම කුලකුමරුවා ගේ පැවිදි නම නූතන පරපුරේ අප කාටත් හුරු පුරුදුය. 'රේරුකානේ චන්දවිමල' යනු ඒ නමයි.

මෙසේ පැවිදි කරවා ගත් සාමණේර හිමිවරුන් ධර්ම විනයෙහි ලා දැඩිව හික්මවීම විනයාලංකාර ගුරු හිමියන්ගේ එකම අභිප්‍රාය විය. ඒ සඳහා එම සාමණේර වරුන් 1908 වසරේ දී බුරුමයට යවන ලදී. ඉන්පසු  එම එම පිරිස යළි අප රටට වැඩම කරවා ඇත්තේ ඊට දස වසරකට පසුව ය. ඒ උපසපන් භික්ෂූන් ලෙසිනි. ඒ අනුව  පසුව අමරපුර ස්වේජින් නිකායේ මහා  නායක පදවියට පත් රේණුකානේ චන්දවිමල නා හිමියන් ගේ උපසම්පදාව පවා සිදුව ඇත්තේ 1917 වසරේ බුරුමයේ දීම ය.

සුජන ඛන්තාරාමයේ වැඩ විසීමට තෝරා ගන්නා භික්ෂූන් වහන්සේ කවුරුන් වුව අනිවාර්යෙන් ස්වේජින් නිකායටම අයත් විය යුතුය යන ස්ථාවරයේ මේ වන විට මණ්ඩාවල ගම්වාසීන් සිටි බව පෙනෙයි. ඒ වන විට  එම නිකාය සම්බන්ධයෙන් රට පුරා පැතිර යමින් තිබූ කීර්ති නාමය කොතෙක් ද යත් ධර්ම විනය ආරක්ෂා කිරීම කෙරෙහි තදින් බැඳුණු සිත් ඇති වෙනත් නිකායික තරුණ හිමිවරුන් කිහිප නමක් ද පසුව විනයාලංකාර හිමියන්ගේ උපාධ්‍යායකත්වයෙන් නැවත පැවිදිව උපසම්පදා ව ලබා ගැනීමට පවා පෙළඹුණහ. පසුව ස්වේජින් නිකායික  මහතෙර නමක ලෙස වැජඹුණු අරංගල සිරිධම්ම හිමියන් ද එසේ කලින් වෙනත් නිකායක පැවිදිව සිට ස්වේජින් නිකායට ආගමනය වූ හිමි නමකි. පසු කලෙක බුරුමයට වැඩම කොට වැඩිදුර විනය හදාළ උන්වහන්සේ බුරුම බසින් ව්‍යක්ත විශාරද ලෙස දහම් දෙසීමට පවා සමත්ව තිබේ.
 
මේ වන විට මෙනේරිලන්ද 'ලෝක විනාශ පන්සල්' බිමේ පවත්වාගෙන ගිය කජුවැටියේ පීරිස් සිඤ්ඤෝ ගේ අකුරුමඩුව තුළින් යමක් කමක් ලිවීමට කියැවීමට හැකි හයක් හතරක් දත් ගැටවර පිරිසක් බිහි වෙමින්  තිබිණ. මෙය ගත වූ  කාලය පුරා අවිදු අඳුරේ ගිලී තිබූ මණ්ඩාවල ජන ජීවිත වලට ශාස්ත්‍රාලෝකය ලබා දිය හැකි  අති සාර්ථක වැඩසටහනක් සේ වටහා ගත් ප්‍රභූවරයෙක් ද මණ්ඩාවල විසීය. ඒ රූපසිංහ ජයවර්ධන මුහන්දිරම්  රුවිතන් පෙරේරා හෙවත් ගම් සැරියන් රාළහාමි ය. අප රටේ ‍පොලිස් ස්ථාන ප්‍රධාන නගරවලට පමණක් සීමා වූ මෙම අවධියේ ප්‍රාදේශීය වශයෙන් නීතිය හා සාමය සුරැකීම උදෙසා ඒ ඒ ප්‍රදේශවල විසූ ප්‍රභූන්ට 'සැරයන්' පදවි ප්‍රදානය කරන ලදී. ගැමියන් විසින් 'ගම් සැරියන් රාළහාමි' ලා යනුවෙන් හැඳින්වෙන ලද්දේ මොව්හු ය.  මෙම 'ගම් සැරියන්' වරයකු යනු අද මට්ටමින් සලකා බැලුවහොත් ජංගම ‍පොලිස් ස්ථානයකි.

ඕල්කට් තුමන් විසින් අරඹා  ජාතික ශාසනික පුනර්ජීවන වැඩ සටහන් ක්‍රියාත්මක කළ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් රට පුරා බෞද්ධ පාසල් ඇරඹීමට අමතරව එතෙක් පැවැති බෞද්ධ පාසල් වලට ආධාර කිරීමේ වැඩසටහනක් ද  මේ වන විට අරඹා තිබිණ. මේ පසුබිම යටතේ රුවිතන් පෙරේරා ගම් සැරියන් රාළහාමි මෙනේරි ලන්දේ තිබූ පීරිස් සිඤ්ඤෝ ගේ අකුරු මඩුව ඊට වඩා තරමක් දියුණු  තත්ත්වයකට පත් කොට ඊට පරම විඥානාර්ථ යේ ආධාර ලබා දීමට කටයුතු කළේය. ඒ අනුව එම අකුරු මඩුව රාළහාමි සතු ඉඩමක තැනූ ඊට වඩා ශක්තිමත් ගොඩනැගිල්ලක් වෙතට ගෙන යන ලදී.

පරම විඥානාර්ථ බෞද්ධ  සමාගමින් ලැබෙන ආධාර මත ඒ සඳහා  මාසික වැටුපක් යටතේ ගුරුවරුන් ද බඳවා ගැනිණ. එවක එහි ගුරුවරයකු ගේ මාසික වැටුප රුපියල් පහළොවකි. අද වෙනත් ස්ථානයක ස්ථාපිතව ඇති මණ්ඩාවල විද්‍යාලය මෙනේරි ලන්දෙන් ගම් සැරියන් රාළහාමිගේ ඉඩමකට  මාරු වී  ගිය එම අකුරු මඩුවේ තෙවන පරිනාම අවස්ථාව ය.

කෙසේ හෝ කලින් ලෝක  විනාශ භීතියෙන් මුසපත්ව සිටි මණ්ඩාවල ගැමියන්ගේ ගුණ නුවණ සහ සදාචාර  මට්ටම ඒ වන විට සැලකිය  යුතු දියුණුවක් ලබා තිබූ බව පැහැදිලි ය. ඊට හේතුව  බුරුම ජාතික  විනයාලංකාර හිමියන් ප්‍රමුඛ දෙමටගොඩ මහ විසුද්ධාරාමය, මකුටාරාමය වැනි ආරාම වල වැඩ විසූ බුදු සමයේ මූලික  පැවැත්ම වන ධර්ම විනය කෙරෙහි විශේෂ කැපවීමක් ඇති ස්වේජින් නිකායික භික්ෂුන් කෙරෙහි එම ගැමියන් තුළ වූ විශේෂ එළැඹීමය. එම කල්‍යාණ මිත්‍ර සේවනයෙහි එක් යහපත් ප්‍රතිඵලයක් ද විය. ඒ මණ්ඩාවල වැසියන් ගේ සිහිනයක් සැබෑ කරමින් සුජන ඛන්තාරාමයේ වැඩ විසීම පිණිස බුරුම ජාතික භික්ෂූන් වහන්සේ නමක් ලැබිම ය. එය සිදුවූයේ විනයාලංකාර හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ 1924 දීය.

ධර්මධර , විනයධර බුරුම ජාතික මහා තෙර නමක වූ නන්දියග්‍රාහී නම් වන එම හිමියන් ගම්වාසීන් අතර ප්‍රසිද්ධ වූයේ 'තල්ගස්මොටේ  හාමුදුරුවෝ' යනුවෙනි. පිඬු සිඟා වැඩම කිරීම ආදී භික්ෂු ප්‍රතිපදාවන්හි  දැඩිව එල්බ සිටි මේ හිමියන් සිංහලයෙන් බණ කීමෙහි ද මහා චතුරත්වයක් පළ කළ බව පැවසෙයි.

මණ්ඩාවල සුජන ඛන්නාරාමයේ වැඩ වාසය  කිරීම ඇරඹූ දිනවල සිටම නන්දග්‍රාහී හිමියන් තුළ එක් සුවිශේෂ  අභිලාෂයක් විය. එනම් තම උපාධ්‍යායකත්වය යටතේ ප්‍රදේශයේ කුල දරුවන් වැඩිම පිරිසක් පැවිදි කරවා ගැනීම ය. ඒ අනුව 1925 වසරේ එලෙස කුල දරුවන් එකොළොස් දෙනකුම පැවිදි කරන ලදී. එහි විශේෂත්වය වූයේ තම නමේ   කොටසක් වන 'නන්ද' යන නම ද ඇතුළු වන සේ ඒ සාමණේරහිමි වරුනට බුද්ධානන්ද, මේධානන්ද , සීලානන්ද , සද්ධානන්ද යනුවෙන් නම් තැබිම ය. මෙම පැවිදි කිරීම මුල්කොට ගත් 'නන්ද' නාමය ප්‍රදේශවාසීන් අතර කෙතරම් ජනප්‍රිය වීද යත් එතෙක් සුජන ඛන්තාරාමය ලෙස හැඳින් වුණු 'ලෝක විනාශ පන්සල' පසුව නන්ද හිමිවරුන් වෙසෙන ආරමය යන අරුත සහිත නන්දාරාමය ලෙස ‍පොදු ජනයා අතරේ ප්‍රසිද්ධ විය.

කෙසේ හෝ නන්දාග්‍රාහී හිමියන් පිඬු සිඟා වැඩීම ආදී වූ භික්ෂු චර්යාවන් මෙම සාමණේරවරුන්ට අනිවාර්ය කිරීම මත ඊට පසු කලෙක මෙම 'නන්ද' හිමිවරුන්ගෙන් කිහිප දෙනෙක්  යළි සිවුරු හැර  ගියහ. ඉතිරි වූයේ උන්වහන්සේ ගේ සැබෑ ශාසනික මෙහෙවර වටහා ගත් සාමණේරවරුන් කිහිප නමක පමණි. 1928 දී නන්දග්‍රාහී හිමියනට විශේෂ අවශ්‍යතාවයක්  මත යළි බුරුම රටට වැඩම කිරීමට සිදු වූයේ මේ අතර ය.

ඒ අනුව  ඉතිරි සාමණේරවරුන්  දෙමටගොඩ මහ විසුද්ධාරාමයට  කැඳවා ගෙන ගොස් එවකට එහි වැඩ විසූ අරංගල සිරිධම්ම හිමියන් වෙත භාර කළ නන්දග්‍රාහී හිමියෝ නැවත සිය මව් රට බලා වැඩම කළහ.

ඉන්පසු අරංගල සිරිධම්ම හිමියන් ගිලන් බවට පත් වූ බැවින් දෙවිනුවර ඥානාවාස, උඩුවේ විමල රංසි යන මහ තෙරවරුන් යටතේ මෙම තරුණ සාමණේර පිරිස පිඬු සිඟා වඩිමින් සාමණේර වත් පිළිවෙත් සපුරන්නට වූහ. මුලින්  සුජන ඛන්කාරාමය ලෙස හැඳින් වී පසුව ගැමියන් වෙතින් නන්දාරාමය බවට පත් මෙම 'ලෝක විනාශ පන්සල' මුල්කොට 1959 පිරිවනක් අරඹා එහි අධිපති පදවිය හෙබවූ පෙර'පර දෙදින ශාස්ත්‍ර පිළිබඳ විශාරදත්වයකින් යුතු ධර්මධර් විනයධර මහ තෙර නමක වූ මණ්ඩාවල සද්ධා නන්ද හිමියන් එම ලෝක විනාශ භීතිකාවෙන් පසු මණ්ඩාවලින් ඇති වූ  ශාසනික , සංස්කෘතික අරුණැල්ලෙන් සපුෂ්පිත ගුණ සුවඳින් සපිරි පියුමකැයි මණ්ඩාල ශ්‍රී නන්දාරාම පිරුවනේ වත්මන් කෘත්‍යාධිකාරී ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමියෝ කියති.

1872 වසරේ සිට එහි භාරකාරත්වය දැරූ නාරංවිට සුමනසාර හිමියන් ගේ පෞද්ගලික මැදහත් වීම යටතේ ක්‍රියාත්මක වූ අනුරාධපුර රුවන්වැලි  මහ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු 1902 අගෝස්තු 19  පිහිට වනු ලැබූ රුවන්වැලි ෙචෙත්‍ය වර්ධන සමාගම ට භාර කෙරිණ. 1921 වසරේ සුමනසාර හිමියන්ගේ අපවත් වීමෙන් පසු එහි ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු භාර වූයේ ඉන්පසු රුවන් වැලි මහ සෑ විහාරාධිපති පදවියට පත් හල්මිල්ලෑවේ රේවත හිමියන්ට ය.

නමුදු මේ යුග දෙකේදීම ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ නිර්මාතෘ බුරුම ජාතික විනයාලංකාර හිමියන් මෙම දැවැන්ත ව්‍යාපෘතිය කෙරෙහි අඛණ්ඩ  අවධානයෙන් හා උපරිම කැපවීමකින් ක්‍රියා කළහ.

මහා සෑයේ අභිනව ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව 1933 දෙසැම්බරයේ මහ සෑයේ හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවය ද පවත්වන්නට යෙදුණි.  ඉන්පසුව මතු වූයේ රුවන් වැලි මහ සෑයට  අභිනවයෙන් පළඳවන කොත් වහන්සේ පිළිබඳ ප්‍රශ්නයයි. විශේෂයෙන් එබඳු සුවිසල් දාගැබකට කොතක් සඳහා චූඩා මාණික්‍යයක් සපයා ගැනීම තරමක ගැටලුවක් විය. එහෙත් එහි දීද අටමස්ථාන කොමිටිය හමුවේ  විනයාලංකාර හිමියන් පවසා සිටියේ තමන් වහන්සේ කොහෙන් හෝ මහා සෑය සඳහා සුදුසු චූඩා මාණික්‍යයක්  සොයා ගෙන එන බවකි. ඒ අනුව 1938 වසරේ බුරුමයට වැඩම කළ විනයාලංකාර හිමියන් ඒ සම්බන්ධයෙන් දැක් වූ  අප්‍රතිහත  ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස එහි 'මොගොග්' නම් ප්‍රදේශයේ පතලකින්  එවන් චූඩා මාණික්‍යය සඳහා ගැළපෙන සුවිසල් පළිඟු පාෂාණයක් සොයා ගෙන තිබේ. මෙහිදී විනයාලංකාර හිමියන් එම පතල්  හිමියනට කරුණු කීමෙන් පසු එය නොමිලයේම ලබා දීමට ඔවුන් එකඟ වී ඇත. එය උන් වහන්සේ සතු කරුණා මෛත්‍රී බලයෙන් සිදු වූවකැයි සමහරෙක් කියති.

කෙසේ 1938 මෙරටට ගෙනා ඒ පලිඟු පාෂාණය මහනුවර දී ප්‍රදර්ශනය කොට , එය එම කාරිය සඳහා අතිශයින් සුදුසු බවට අදාළ පාර්ශ්වයන්ගෙන් ලත් අනුමැතිය ද සහිතව නැවත එය බුරුමයට රැගෙන ගොස් ඇත. ඒ එය චූඩා මාණික්‍යයක් වශයෙන් කපා ඔප මට්ටම් කරනු පිණිස ය.

ඉන්පසු 1940 ජුනි මස 10 දින එම චූඩා මාණික්‍යය  අනුරාධපුරයට වැඩම කරන ලදී. ඒ ජුනි 17 දා පෙ.ව. 8.50 ට රුවන් වැලි මහා සෑයට එම චූඩා මාණික්‍යය සහිත කොත පළඳවනු පිණිසය.

එම වසරේ ජුනි 15 දා සිට ඇරඹුණු මෙම රුවන්වැලි මහ සෑ වෛජයන්ති මහා මංගල්‍යය සඳහා මණ්ඩාවල  වැසියන්ගෙන් වැඩිම පිරිසක් අතිශය උනන්දුවෙන් හා අභිමානයෙන් එක් ව ඇති බව ද ප්‍රකට කරුණකි.  ඒ මෙම මහා පින්කම සහ තම ශාසනික ප්‍රබෝධයේ නිර්මාතෘ විනයාලංකාර හිමියන්  අතර ඇති යාවජීව සබැඳියාව නිසාම විය හැක.

1940 වසරේ ජුනි 19 දා වන ‍පොසොන් පසළොස්වක ‍පෝ දින පස්වරු හතරට  ශ්‍රීමත් ඩී.බි. ජයතිලක, ඩී.එස්. සේනානායක වැනි බෞද්ධ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් චූඩා මාණික්‍යය සහිත අඩි විසි පහක් උස රුවන් වැලි මග සෑයේ කොත් වහන්සේ නිරාවරණය කෙරිණ. එම අවස්ථාවේ එම පුණේ‍යා්ත්සවයට සහභාගී වූ දහස් ගණන් බොදුනුවන්ගේ සාධුකාර නදින් හාත් පස ගිගුම් දුන් බව සමකාලීන පුවත් පත් වාර්තා වල පවා පළ විය.  එම වාර්තාවල සඳහන් නොවූවද ඒ අතරින් සියනෑ කෝරලයේ, ගඟබඩ පත්තුවේ  මණ්ඩාවල වැසියන්ගේ බැතිබර සාධු නද වෙසෙසින් හඬ නැංවෙන්නට ඇතැයි මට සිතේ.

ඒ ලෝක විනාශයට බය වුණාට අපිටත් ලොකු පින්කමක් කරගන්න ලැබුණා යන  නිරාමිස සතුට ඔවුන්ගේ සිත් තුළ කා වැදී තිබූ බැවිනි.

තිලක් සේනාසිංහ 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all