Photobucket

Tuesday, December 25, 2012

අනතුරු දායක සහ නොදන්නා ස්ථානයන්හි දිය නෑමෙන් වළකින්න

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

 අනතුරු දායක සහ නොදන්නා ස්ථානයන්හි දිය නෑමෙන් හා පිහිනීමෙන් වළකින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංඟා, ජලාශ, වැව් ආදියේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර දිය නෑම සහ පිහිනීම මෙන්ම බෝට්ටු සවාරි යාමේදී ආරක්ෂිත ස්ථාන සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් සිටින ස්ථාන පමණක් භාවිතා කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

පාසල් නිවාඩු කාලය මෙන්ම උත්සව සමයේදී විනෝද චාරිකා යන පිරිස් විවිධ ස්ථානයන්හිදී දිය නෑමට සහ බෝට්ටු සවාරි යාමට උත්සාහ කරන බව පෙන්වාදෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි අවස්ථාවලදී විශේෂ අවධානය යොමු කරන ලෙසද බෝට්ටු සවාරි යාමේදී ආරක්ෂිත ඇඳුම් කට්ටල භාවිතා කරන ලෙසද ප්‍රකාශ කරයි. පසුගිය (22) දා තිස්සමහාරාමයේදී සිදුවූ බෝට්ටු අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගිය අතර මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අදාළ බෝට්ටුවෙහි ගෙන යාහැකි පුද්ගලයින් ගණන උපරිමය 10 ක් වුවද අනතුරු සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයින් 22 දෙදෙනෙකු ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය කරගත් බවද ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියාසිටී.

එසේම මෙම බෝට්ටුව පැද වු පුද්ගලයා සහ එහි ගමන් කල බොහෝ වැඩි දෙනෙකු බීමත්ව සිට ඇති බවද මෙවැනි අවස්ථාවලදී බීමත්ව ගමන් කිරීමෙන් වළකින ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all