Photobucket

Friday, December 28, 2012

ප්‍රශ්න පත්‍ර හොරුන්ට දැඩි දඬුවම් ඕනෑ

මහා සංඝරත්නය ජනපතිගෙන් ඉල්ලා සිටිති
විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවය රකින්න
විභාග අවුල් වුණොත් රටත් අවුල් වේවි
දරුවන්ගේ අනාගතය සියල්ලට වඩා වටිනවා

ශ්‍රී ලංකාවට නිදහස, සාමය හා සහජීවනය ලබා දී රට අලුත් සංවර්ධන ප්‍රවේශයකට යොමු කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තවත් එක ඉල්ලීමක් කරන්නට ඇතැ’යි මහා සංඝරත්නය ප්‍රකාශ කැර සිටිති. එනම්; ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සුරක්ෂිත කැර දෙනු මැනැවි යන්න ය.

මෙරට අධ්‍යාපනය උසස් මට්ටමක ඇතැ’යි පිළිගනු ලබන මහා සංඝරත්නය, අධ්‍යාපනයේ තීරණාත්මක සාධකයක් වූ රජයේ විභාග විවිධාකාරයෙන් දූෂණයට ලක් වී ඇතැ’යි පෙන්වා දෙති. 

මේ තත්ත්වය නවතාලිය හැක්කේ විභාගවලට අදාළ දූෂිතකම් කරන සියලු දෙනාට ම දැඩි දඬුවම් දීමෙන් යැයි පැහැදිලි කරන භික්ෂූන් වහන්සේ, මෙවර අ. පො. ස. සා. පෙ. විභාගයේ ප්‍රශ්න පත්‍ර හොරකම් කළ දූෂිතයන් සියලු දෙනාට තරාතිරම, තත්ත්වය, උගත්කම්, පක්ෂය ආදිය නො බලා හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස ද මතුවට මෙවන් අවුලක් ඇති නො වීමට වැඩ සලසන ලෙස ද ඉල්ලා සිටින සේක.

විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍යභාවයට කැළලක් ඇති කරමින් ප්‍රශ්න පත්‍ර පිටකිරීමේ වංචාවේ යෙදුණු සියලු දෙනාට ද මෙහි දී දැඩි දඬුවම් ලබාදෙන ලෙස මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් නැවතත් ඉල්ලා සිටිති.

දඬුවම් ලබාදීමට තිබෙන නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නීති සංශෝධන කැර හෝ නව නීති ඇතිකර හෝ දඬුවම් ලබාදිය යුතු බවද මහා සංඝරත්නය අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් දිනමිණට අදහස් දැක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් පැවසුවේ මෙතෙක් කාලයක් විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දමමින් සිදුකළ මේ වංචාවට දිය හැකි උපරිම දඬුවම් ලබාදීම කළ යුතු බවය.

ආණ්ඩුව අපහසුතාවයට පත්වන අයුරින් ලක්‍ෂ සංඛ්‍යාත දරුවන්ගේ සහ මාපියන්ගේ විශ්වාසය බිඳ දැමූ මේ සිද්ධිය පිළිකුලෙන් හෙළාදකින බවත්, මේ ප්‍රශ්න පත්‍ර පිට කිරීමේදී එහි වාසිය යන්නේ අතලොස්සක් පිරිසකට බවත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ පැවසූහ. මෙවන් ක්‍රියාවන් සිදුකිරීමෙන් මහන්සිවී පාඩම් වැඩ සිදුකරන බහුතරයක් දරුවන්ට සිදුවූ අසාධාරණය මැඬලමින් ලකුණු 19ක් ලබාදී එම දරුවන්ට සාධාරණය ඉටුකරලීම ආණ්ඩුව සිදුකළ යහපත් කටයුත්තක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙවැනි ක්‍රියා ඉදිරියේදී සිදුවීම වළක්වාලීම ආණ්ඩුවේ වගකීමක් බව අවධාරණය කරන මහා සංඝරත්නය මෙවැනි අපරාධකරුවන්ට ඇප ලබාදීම තුළින් සමාජය තුළ අරගලකාරී තත්ත්වයක් මතුවිය හැකි බවත්, ඔවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් අවධාරණය කෙළේය.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all