Photobucket

Friday, December 7, 2012

ශිරාණි බණ්ඩාරනායක චෝදනාවලින් පලා යයි

තේරීම් කාරක සභා­ව විශ්වාස නෑ කියා
විභාගය අවසන් කිරීමට ඇයගේ ක්‍රියා කලාපය බාධාවක්
මුල් චෝදනා දෙකටවත් පිළිතුරු ලැබී නැහැ
අගවිනිසුරුවරිය නොමැති වුවත් චෝදනා විභාගයට

දෝෂාභියෝග චෝදනාවලට ලක් වී සිටින අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඊයේ (6)තේරීම් කාරක සභාවට මුහුණ නොදී සියලු චෝදනාවලින් පලාගොස් ඇත.

මේ දක්වා තේරීම් කාරක සභාවේ අවස්ථා දෙකකට මුහුණ දී ඇති අගවිනිසුරුවරිය තමනට එරෙහිව නැගී ඇති කිසිදු චෝදනාවකට පිළිතුරු සපයා නැති අතර ඊයේ පැවැති තුන්වන අවස්ථාවේදී තේරීම් කාරක සභාව පිළිබඳ විශ්වාසයක් නැතැයි පවසමින් මෙසේ පලා ගොස් තිබේ.

අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග චෝදනා එල්ල වූ දා පටන්ම ඇය එම චෝදනා මඟහැර සිටීමට උත්සාහ ගෙන ඇති අතර තේරීම් කාරක සභාව වෙතින් කල් ඉල්ලා ඇත්තේ තීන්දුවක් ලබාදීම ප්‍රමාද කිරීම සඳහාය. තේරීම් කාරක සභාව මසක් තුළ මේ විභාගය අවසන් කිරීමට සැලැසුම් කර තිබුණ ද අගවිනිසුරුවරියගේ ක්‍රියා කලාපය හමුවේ එම සැලැසුම අසාර්ථක වී තිබේ. 

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ඉල්ලීමට අනුව ඇයගේ පිළිතුරු ප්‍රකාශය සඳහා දින විසි දෙකක කාලයක්ද ලබා දී තිබේ. ඊයේ රැස් වූ එම තේරීම් කාරක සභාව නියෝග කර ඇත්තේ අගවිනිසුරුවරිය මේ අවස්ථාවේ මුල් චෝදනා දෙකටවත් පිළිතුරු සැපැයිය යුතු බවය. එම නියෝගය නොපිළිගත් ඇය සිය නීතිඥ මණ්ඩලයත් සමග විමර්ශන සභාවෙන් පිටවී ගියහ.

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමර්ශනය කරන විශේෂ කාරක සභාව ඊයේ (06) සවස 2.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර, ඊට අගවිනිසුරුවරිය හා නීතිඥ කණ්ඩායම සහභාගී වූහ.

මෙම කාරක සභාව ඊයේ සවස 6.30 වන තුරු පවත්වා ගෙන යාමට තීරණය කර තිබූ මුත් අගවිනිසුරුවරිය හා නීතිඥ කණ්ඩායම කාරක සභාවෙන් නැගිට පස්වරු 5.50ට පමණ පිටව ගොස් තිබේ.

ශේෂ උපකාරක සභාවේ කටයුතු තමාට විශ්වාසයක් නැතැයි අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත. සාක්ෂිකරුවන්ගේ නාමලේඛණය ඉදිරිපත් නොකිරීමේ චෝදනා සම්බන්ධ ලිපි ලේඛණ ඉදිරිපත් නොකිරීම ආදී කරුණු හේතුවෙන් අගවිනිසුරුවරියට සභාව පිළිබඳ විශ්වාසයක් නැති බව පවසමින් නීතිඥ කණ්ඩායම සමඟ පිටව ගොස් ඇත. 

අගවිනිසුරුවරියට ගිණුම් සම්බන්ධ බැංකු ප්‍රකාශන හා වත්කම් ප්‍රකාශයන්ට අදාළ ලියකියවිලි සභාව විසින් ගෙන්වා ගෙන තිබූ අතර, එම ප්‍රකාශ කාරක සභාව විසින් අගවිනිසුරුවරිය වෙත ලබාදී ඇත. කෙසේ නමුත් කාරක සභාව අගවිනිසුරුවරිය හෝ ඇගේ නීතිඥවරුන් නොමැතිව රැස්වී දෝෂාභියෝග චෝදනා විමර්ශන කිරීමට තීරණය කර තිබේ. 

ඒ අනුව විශේෂ කාරක සභාව අද (07) පස්වරු 1.30ට සහ හෙට (08) යළි රැස්වීමට නියමිතය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අභියෝග කරමින් අගවිනිසුරුවරිය විශේෂ කාරක සභාවෙන් පිටවීම පිළිබඳව අද (07) රැස්වී අවස්ථාවේදී තීරණයක් කරන බවත්, විශේෂ කාරක සභාවේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය. 

අගවිනිසුරුවරිය පිළිතුරු ලබාදීම සඳහා දිගින් දිගටම කල් ඉල්ලා සිටි බවත් කමිටුවේ සාමාජිකයන් සියලු දෙනාම අද (07) තෙක් ඇයට කල් ලබාදීමට ඒකමතිකව තීරණය කර තිබීයදී අගවිනිසුරුවරිය කමිටුවෙන් පිටව යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කළ බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all