Photobucket

Thursday, December 27, 2012

කටුගෙයි හොරා කන්ගැට්ටා මලු

විද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළිවෙයි

කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදුවූ කෞතුක වස්තු සොරකමට සම්බන්ධ වී ඇත්තේ අන් කිසිවකු නොව ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් ‘කන්ගැට්ටා’ නැමැත්තාම බවට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලින් තහවුරු කරගෙන ඇත.

රජය සහ පොලිස් දෙපාර්තමේන්තුව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් මේ පිළිබඳ ඇතැමුන් විවිධ ප්‍රචාරයන් ගෙන ගියද ඒ සඳහා කිසිඳු ඇමැතිවරයකු, ව්‍යාපාර‍කයකු, පොලිස් නිලධාරියකු, විදේශිකයකු හෝ ප්‍රභූවරයකු සම්බන්ධ නොමැති බවද එය මේ පුද්ගලයා කළ සොරකමක් බවට විද්‍යාත්මක විමර්ශනවලින් පැහැදිලිවම සනාථ වී තිබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අවධාරණය කරයි.

මේ සඳහා කිසිඳු පිටස්තර පුද්ගලයෙකු සම්බන්ධ නොමැති බව පෙන්වාදෙන ඒ මහතා සොරකම සිදුවූ ස්ථානයෙන් ලබාගන්නා ලද ඇඟිලි සලකුණුවලින් ඒ බව සනාථ කරගන්නට විමර්ශන කණ්ඩායම් සමත් වී තිබෙන බවද සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ පොලිස් මූලස්ථානයේදී  (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර සේනානායක මහතා සඳහන් කළේ, පසුගිය මාර්තු මාසයේ 16 දා රාත්‍රියේදී කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුක වස්තු සොරකම සිදුව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පසුදින (17) පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙන බව සිහිපත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සිද්ධියට සම්බන්ධ සියලුම පුද්ගලයන් තරා තිරම නොබලා අත්අඩංගුවට ගෙන දඬුවම් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු තමා වෙත උපදෙස් දුන් බවද පැවසීය.

මේ සොරකම සිදු කිරීම සඳහා අදාළ සැකකරු කෞතුකාගාරය වෙත ගමන්කළ අයුරු, ඒ තුළ සැඟවී සිටි අයුරු, ප්‍රදර්ශන අල්මාරි 4 කි තිබී කෞතුක භාණ්ඩ සොරාගත් ආකාරය මෙන්ම එම ස්ථානයෙන් ඉවතට පැමිණි ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළ අනුර සේනානායක මහතා මේ සඳහා එම පුද්ගලයාට කිසිවෙකුගෙන් ආධාරක්, උපදෙසක් ලැබී නොමැති බවට ඒ සඳහා සිදු කෙරෙන විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබෙන බවද ප්‍රකාශ කළේය.

එම කෞතුකාගාරයේ ආරක්ෂක කැමරා පද්ධතිය දින කිහිපයක සිට අක්‍රියව පැවැති බවද අදාළ සොරකම සිදුවන අවස්ථාවේ එහි රාජකාරියේ නියුක්තව සිටි ආරක්ෂක නිලධාරීන් තිදෙනා නිදාසිටි බවද පැවසූ ඒ මහතා සොරකම් කළ භාණ්ඩ ඉතාම අවම මිල ගණන්වලට විකුණා තිබෙන බවද පෙන්වා දුන්නේය. මේ අතර ඒ මහතා සඳහන් කළේ මේ භාණ්ඩ සම්බන්ධයෙන් දැනුවත්කමක් තිබූ කිසියම් පුද්ගලයෙකුගෙන් උපදෙසක් ලැබුණා නම් අදාළ භාණ්ඩ විකුණා කෝටි ගණනක් මුදල් ඉපයීමට අවස්ථාව තිබූ බවත් අදාළ භාණ්ඩ සොයා ගන්නා විට වැඩි ප්‍රමාණයක් කොටස් වලට වෙන්කර තිබූ බවයි.

මේ වනවිට සොරාගත් භාණ්ඩවලින් සියයට 90 ක් පමණ සොයා ගැනීමට හැකිවූ බව සඳහන් කළ ඒ මහතා සෙසු ප්‍රමාණය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවද සඳහන් කළේය.

මේ සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කන්ගැට්ටා නැමැත්තා පසුගිය ඔක්තෝබර් මාසයේ 27 දා මීගමුවේදී අත්අඩංගුවට ගත් බවද මේ වනවිට ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවේ පසුවන බවද සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කන්ගැට්ටා නැමැත්තාගේ ඇඟිලි සළකුණු වලට සමාන ඇඟිලි සළකුණු තුනක් ලබා ගැනීමට හැකි වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන නීතිපති උපදෙස් ලබාගෙන අදාළ සැකකාර පුද්ගලයා වෙත නිසි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවද ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කන්ගැට්ටා නැමැත්තා විවිධාකාරයේ අපරාධ 70 කට සම්බන්ධ බවට අනාවරණය කරගෙන තිබෙන බවද හෙතෙම කීවේය.

මේ අවස්ථාවට සහභාගි වූ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සෙනරත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කෞතුකාතාරයෙන් භාණ්ඩ 221 ක් සොරාගෙන තිබෙන බවත් ඒ සියල්ල ලේඛනගත කරමින් ඡායාරූප ලබාගෙන තිබූ හෙයින් සොයා ගත් භාණ්ඩ කෞතුකාතාරයෙන් සොරාගත් ඒවා බවට තහවුරුකර ගැනීමට හැකිවූ බවත්ය.

එහි ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට පොලිස් මුරපොළක් ස්ථාපිතකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ රංජිත් හේවගේ මහතා මෙහිදී සඳහන් කළේ කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 7 දෙනෙකුගේ වැඩ තහනම්කර තිබෙන බවත් පුද්ගලයන් 9 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබෙන බවත්ය. 

ආරක්ෂක කැමරා පද්ධතියෙහි දෝෂ තිබෙන බවට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු අධිකාරියට දැනුම්දී තිබෙන බවද එය නවීකරණය වෙනුවෙන් ක්‍රියා විරහිත කළද මේ වනවිට ආරක්ෂක කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all