Photobucket

Thursday, December 6, 2012

විෂය භාර ඇමැති සභා ගැබේ නැතිනම් කළ යුත්තේ විවාදය කල් තබා යැමයි

අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගන්නා අවස්‌ථාවේදී අදාළ විෂය භාර ඇමැතිවරුන් සභා ගැබෙහි නොමැති නම් කළ යුත්තේ විවාදය කල් තබා සභාවෙන් පිටව යැම බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශ 14 ක වැය ශීර්ෂ ඊයේ (5 දා) විවාදයට ගන්නා අවස්‌ථාවේදී අදාළ ඇමැතිවරුන් සභා ගැබෙහි නොසිටි නිසා කථානායකවරයා එසේ පැවැසුවේය.

වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්‌ථා විවාදය ආරම්භ කරමින් එජාප මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතා කතා කරමින් සිටියදී එය මඳකට නතර කළ කථානායකවරයා ඉහත ප්‍රකාශය කළේය.

කථානායකවරයා(- මේ වෙලාවේ අමාත්‍යාංශ 14 ක්‌ විවාදයට ගන්නවා. ඒත් ඒ විෂය භාර ඇමැතිවරුන් එක්‌කෙනෙක්‌වත් සභාවේ නැහැ.

මේ අවස්‌ථාවේදී සභා ගැබෙහි සිටි මහින්ද සමරසිංහ, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, කෙහෙළිය රඹුක්‌වැල්ල, පියංකර ජයරත්න, ගාමිණී ලොකුගේ යන ඇමැතිවරුන් සහ සිරිපාල ගම්ලත් ගීතාංජන ගුණවර්ධන යන නියෝජ්‍ය ඇමැතිවරු අත් ඔසවා "අපි ඉන්නවා" යෑයි කීහ.

කථානායකවරයා(- ඒත් ඉන්නේ හතර දෙනානේ. විවාදයක්‌ කරද්දී මෙතැන කියන දේ අහන්න ඉන්න එපායෑ. ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු ඉන්න ඕනෑ. කවුරුත් මෙතැන අහගෙන ඉන්නෙ නැත්නම් විවාද කරනවාට වඩා කල් තියලා යන එක හොඳයි.

තිස්‌ස අත්තනායක මහතා(- ඔබතුමාම එය දැකපු එක හොඳයි. මේ වෙලාවේ ආණ්‌ඩුව පැත්තේ ඉන්නෙත් එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ගිහින් ඇමැති තනතුරු දරන අයයි.

සිවිල් ගුවන් සේවා, ආපදා කළමනාකරණ, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, තාක්‍ෂණ හා පර්යේෂණ, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්‌කරණ, ඵලදායිතා ප්‍රවර්ධන, කම්කරු හා කම්කරු සබඳතා, වැවිලි කර්මාන්ත, ඉඩම් හා ඉඩම් සංවර්ධන, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ යන අමාත්‍යාංශ දාහතරට අදාළ වැය ශීර්ෂ ඊයේ විවාදයට ගන්නා ලදි.

කථානායකවරයා ඉහත ප්‍රකාශය කළ පසුව විෂය භාර ඇමැතිවරු කිහිප දෙනෙක්‌ සභා ගැබට පැමිණ අසුන් ගත්හ.

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all