Photobucket

Monday, December 3, 2012

අංජලි පාටිල් සිංහල සිනමාවට සම්මාන දිනා දෙයි

දේශීය සිනමා ඉතිහාසයේ වාර්තාවක් තබමින් 43 වැනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නිළියට හිමි සම්මානය ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ “ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ රඟපෑ ඉන්දිය නිළි අංජලි පාටිල් දිනා ගත්තාය. 
ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේද මුල් වරට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වෙනුවෙන් වෙනත් රටක නිළියක සම්මානයට පාත්‍ර වූ මුල්ම අවස්ථාව මෙයයි. තවමත් මෙරට තිර ගත නොවු ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය අන්තර් ජාතික සිනමා උළෙලක තරගකාරී අංශයේ තරග වැදුණු මුල්ම අවස්ථාව මෙය වන අතර එයට පෙර ලන්ඩන් සහ මොන්ට්‍රියල් සිනමා උළෙලයන්හි තිර ගත වෙද්දී ද ඒ සඳහා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබිණ.

‘ඔබ නැතුව ඔබ එක්ක’ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ හත් වැනි චිත්‍රපටය වන අතර ඔහු නිර්මාණය කළ චිත්‍රපට අතරින් ‘ පවුරු වළලු’ චිත්‍රපටයෙන් නීටා ප්‍රනාන්දු ද ‘පුර හඳ කළුවර’ චිත්‍රපටයෙන් ජෝ අබේවික්‍රම ද සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳ ම රංගනය සඳහා සම්මාන දිනු අතර ‘ ඉර මැදියම’ චිත්‍රපටය වෙනුවෙන් නිම්මි හරස්ගම ස්පාඤ්ඤයේ ලස් පල්මාස් අන්තර් ජාතික සිනමා උළෙලේ දී හොඳම නිළිය ලෙස ද සම්මානයට පාත්‍රවූවාය. 

මාලිනී ෆොන්සේකා ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උළෙලේ දී මෙන්ම ඉතාලියේ ලෙවන්තේ අන්තර්ජාතික සිනමා උළෙලේ ද හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් ‘ආකාස කුසුම්’ චිත්‍රපටය ද ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද චිත්‍රපටයකි. මෙවර ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ පිරි නැමුණු සෙසු සම්මාන මෙලෙසය. 

හොඳම චිත්‍රපටය - ආමිස් ෆො අ බ්ලයින්ඩ් - ඉන්දියාව හොඳම අධ්‍යක්ෂණය - ක්‍යු හුවාන් ජීන් - (චිත්‍රපටය - ද වෙයිට් / දකුණු කොරියාව) හොඳම නළුවා - මාර්සින් දොරොසින්ස්කි - ( චිත්‍රපටය - රෝස් / පෝලන්තය) ජූරියේ විශේෂ සම්මානය - කියුබානු චිත්‍රපටයක් වූ උනා නෝචි දිනා ගති.

අංජලි පාටිල් නවදිල්ලි නාට්‍ය පාසලේ රන් පදක්කම් ලාභින්යක් වන අංජලී පාටිල් සිය මුල්ම චිත්‍රපටය වූ ‘ දිල්ලි ඉන් අ ඩේ’ චිත්‍රපටයෙන්ම විචාරක අවධානය දිනා ගත්තීය. මේ දිනවල ඉන්දියාවේ තිර ගත වන චක්‍රව්‍යුහ චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපාන්නී අංජලී ය. ඇය මුල්වරට සම්මානයට පාත්‍රවනුයේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ රඟපෑමෙනි.

 අරුණ ගුණරත්න
ගෝවේ සිට...
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all