Photobucket

Tuesday, December 4, 2012

මෙවරත් ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව බස්නාහිරට

දක්ෂතම ක්‍රීඩකයා මංජුල කුමාර ක්‍රීඩිකාව ජානි චතුරංගනී

ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට මෙවරත් බස්නාහිර පළාත සමත් විය. ක්‍රීඩා සමාජ මට්ටමේ සිට අදියර තුනකින් ක්‍රීඩා 21ක් සඳහා පැවැති මෙම ක්‍රීඩා සමාප්ති උළෙල ඊයේ (2දා) සවස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. එහිදී රන් පදක්කම් 78ක්, රිදී පදක්කම් 53ක් සහ ලෝකඩ පදක්කම් 52ක් දිනා  ගැනීමට බස්නාහිර පළාත සමත් විය.
මෙවර ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත අනුශූරතාව රන් පදක්කම් 35ක්, රිදී පදක්කම් 42ක් සහ ලෝකඩ පදක්කම් 36ක් හිමිකරගත් මධ්‍යම පළාතට හිමිවූ අතර, තෙවැනි ස්ථානයට පත් වයඹ පළාත රන් 28ක්, රිදී 27ක් සහ ලෝකඩ පදක්කම් 29ක් දිනා ගැනීමට සමත් විය.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ මලල ක්‍රීඩා පිරිමි සහ කාන්තා ශූරතා දෙකම දකුණු පළාත දිනා ගැනීම විශේෂත්වයක් විය.

මලල ක්‍රීඩා පිරිමි අනු ශූරතාව මධ්‍යම පළාතටද, කාන්තා අනුශූරතාව බස්නාහිරටද හිමි විය.

මලල ක්‍රීඩා තරගවලදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මීටර් 100 ඉසව්ව තත්පර 11.78කින් නිමකර දස්කම් දැක්වූ වයඹ පළාතේ ජානි චතුරංගනී සිල්වාද, දක්ෂතම ක්‍රීඩකයා ලෙස  මීටර් 2.23ක උසක් පැන දක්ෂතා දැක්වූ දකුණු පළාතේ මංජුල කුමාරද සම්මාන ලැබූහ.

මෙවර මීටර් 100 පිරිමි ඉසව්ව තත්පර 10.64කින් නිම කළ දකුණු පළාතේ එම්.එස්.එම්. සෆ්රාන් වේගවත්ම ක්‍රීඩකයා වූ අතර, වයඹ පළාතේ ජානි චතුරංගනී වේගවත්ම ක්‍රීඩිකාව විය.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ නව ශ්‍රී ලංකා වාර්තා එකක් බිහි වූ අතර, නව තරග වාර්තා 7ක් බිහි විය.
වයඹ පළාතේ චම්පිකා දිල්රුක්ෂි මීටර් 800 (2.07.10) සහ මීටර් 1500 (4.20.25) ඉසව් ජය ගනිමින් නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය.

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අනෝමා කරුණාවංශ රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 3.30ක උසක් තරණය කරමින් ක්‍රීඩා 

උළෙ‍ලේ බිහි වූ එකම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට සමත් විය. 24 හැවිරිදි අනෝමා ශ්‍රී ලංකා නාවික හමුදාව් ක්‍රීඩිකාවකි.

මීටර් 2.27ක් උස පැන උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරුවා වී සිටින මංජුලට මෙම ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේදී ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලා‍පොරොත්තු රඳවා සිටියද එම වාර්තාව පිහිටුවීමට ඔහු අසමත් විය. එසේ වුවද ක්‍රීඩා උළෙ‍ලේ ඔහුගේ නමින් සටහන් වී තිබූ මීටර් 2.20ක වාර්තාව මීටර් 2.23ක් ලෙස අලුත් කිරීමට ඔහුට හැකි විය.

දකුණු පළාතේ ඩබ්ලිව්.කේ.එල්. නිමාලි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. විනාඩි 1.00.85ක කාලයක් සටහන් කරමින් ඇය බිඳ දමනු ලැබූවේ සබරගමුවේ ගිම්හානි රත්නායක පිහිටුවා තිබූ වි.1 තත් 01.45ක තරග වාර්තාවයි. ඩබ්ලිව්.කේ.එල්. නිමාලි මීට ප්‍රථම ජාතික මහා ක්‍රීඩා උළෙලවලදී දුර දිවීමේ සහ බාධක දිවීමේ ඉසව්වලදී ජාතික වාර්තා පිහිටවූ ක්‍රීඩිකාවකි.
වයඹ පළාතේ ප්‍රියංගිකා මධුවන්ති උස පැනීමෙන් ඇය විසින් පිහිටුවා තිබූ මීටර් 1.78ක් පැන පිහිටුවා තිබූ තරග වාර්තාව මීටර්. 1.79ක උසක් පනිමින් අලුත් කිරීමට සමත් විය. ඇය උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කියයි.

දකුණු පළාතේ ගංගා අබේරත්න මීටර් 1500 ඉසව්ව විනාඩි 16 තත්පර 51.6ක කාලයකින් අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

සුනිල් අභයවර්ධන
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all