Photobucket

Thursday, December 27, 2012

අනුරපුර රෝහලේ දුර්ලභ දරු උපතක්

නිවුන් දරුඋපතක් සිදුවීමේ දී එක් දරුවෙකු කලින් මියගොස් සති කිහිපයකට පසු අනෙක් දරුවා නීරෝගී දරු උපතක් ලෙස ලබා ගැනීමට කටයුතු කළ ලොව ඉතා දුර්ලභ ප්‍රතිකාරයක් අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා වේ.

විශේෂඥ වෛද්‍ය අසේල අමරසිරි මහතා ශික්ෂණ රෝහලේ දී මේ ශල්‍යකර්මය කර මවත් දරුවාත් දෙදෙනාගේම ජීවිත බේරා ගැනීමට සමත් විය.

සාමාන්‍යයෙන් මෙවැනි දරු උපතකදී එක් දරුවෙකු මියගිය විට අනෙක් දරුවාද ඒ වේලාවේම බිහිවීම හෝ කුස තුළ මිය යාම සිදුවන නමුත් මේ ප්‍රසූතියේ විශේෂත්වය වන්නේ 24වන සතියේ දී පළමු දරුවා ගබ්සාව වීමෙන් පසු වැදෑමහ කොටස හා සම්බන්ධ වී තිබූ නාභිරජ්ජුව නැමති කොටස මැදින් කපා ගැබ්ගෙලට මැහුම් ද නොදමා කලලය ආරක්ෂා කරගැනීමට වෛද්‍යවරුන් කටයුතු කිරීමයි.

මේ සැත්කම මවගේ ජීවිතයටත් දරුවාගේ ජීවිතයටත් දැඩි අවදානම් වූවක් නමුත් මේ වෛද්‍ය විශේෂඥවරයා ප්‍රතිජීවක ලබාදී විෂබීජ පැතිරීම වළක්වා පැරැණි වැදෑමහ කොටස ක්‍ෂයවී යන තුරුද කලලය වැඩී සති 36කින් සාමාන්‍ය දරු ප්‍රසූතිය වන තුරුද රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තිබේ.

ඒ අනුව අදාළ මව වන මැදවච්චිය දඹුගල ලිපිනයේ පදිංචි කේ.ජී. නිල්මිණි මහත්මිය (29) දෙවන දරුවා නීරෝගි ලෙස ප්‍රසූත කර සිටින අතර මවත් දරුවාත් දෙදෙනා නීරෝගීව සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා පවසයි.

“මම සතුටින් ඉන්නේ. පළමු බබාට වයස අවුරුදු 4 1/2යි. මම ලොකු අවදානමකින් ජීවිතය බේරා ගත්තා. බබාද හොඳින්,” යැයි මව පැවැසුවාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all