Photobucket

Thursday, December 27, 2012

ඔස්‌ට්‍රේලියානු වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම 156 කට සීමාවෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ ඔස්‌ට්‍රේලියාව අතර මෙල්බර්න් ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ (26 දා) ඇරැඹි 'බොක්‌සිං දින ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 156 කට සීමා කළ ඔස්‌ට්‍රේලියානු පන්දු යවන්නෝ පළමු දිනය අවසන් වන විටම ජයග්‍රහණය සඳහා ඔස්‌ට්‍රේලියානු පිලට සාර්ථක අඩිතාලමක්‌ එක්‌ කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකාව ලබා දුන් අදාළ පහසු ඉලක්‌කයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරනු ලබන ඔස්‌ට්‍රේලියානු පිල දිනය අවසනදී කඩුලූ 3 කට ලකුණු 150 ක්‌ ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. ඒ අනුව ඔස්‌ට්‍රේලියානු පිල ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේදී කඩුලූ 7 ක්‌ අත ඉතිරිව තවත් ලකුණු ලකුණු 06 ක්‌ පමණක්‌ පිටුපසින් සිටියි.

ඔස්‌ට්‍රේලියානු පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක්‌ ලබා දුන් එඩ් කෝවන්(36) සහ ඩේවිඩ් වෝනර්(62) වේගවත්ව ලකුණු රැස්‌ කරමින් ඉනිමේ 18 වැනි පන්දුවාරය වන විට පළමු කඩුල්ලට ලකුණු 95 ක්‌ එක්‌ කිරීමට සමත්වූහ.

මොවුන් දෙදෙනාගේ වේගවත් පිති ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට යොමුවීම පැහැදිළිව පෙනුණු කරුණක්‌ වශයෙන් සඳහන් කළ හැක. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් අත§න් වැඩිම ප්‍රහාරයකට ලක්‌වූ පන්දු යවන්නා බවට පත්වූ ශමින්ද එරංගගේ පන්දු යෑවීම ආරම්භයේ සිටම රිද්මය ගිලිහී ගොස්‌ පන්දු පාලනය ඉතාමත් දුර්වල මට්‌ටමක පැවැතිණි. එහි ප්‍රථිඵලයක්‌ ලෙස ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 තුළදී ලකුණු 53 ක්‌ උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වුණි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 117 කදී ක්‍රීඩා ගාරයට ගිය අතර අනතුරුව පිලිප් හියුස්‌වද(10) දුවද්දී දවා ගැනීමට ඩිල්ෂාන් සහ සංගක්‌කාර දෙදෙනා සමත්වූහ. නායක මයිකල් ක්‌ලාක්‌ ලකුණු 20 ක්‌ සහ ෂේන් වොට්‌සන් ලකුණු 13 ක්‌ ලබා දෙවැනි දිනය වන අද දිනයේදීත් පන්දුවට පහරදීමේ බලාපොරොත්තුවෙන් වෙති.

ඓතිහාසික වටිනාකමකින් යුතු බොක්‌සිං දින ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදී වැඩි ලකුණු සංඛ්‍යාවක්‌ ලබා සත්කාරක කණ්‌ඩායම වෙත පීඩනයක්‌ යොමු කිරීමට අදහස්‌ කළද ඔස්‌ට්‍රේලියානු පන්දු යවන්නන් එය පුස්‌සක්‌ බවට පත් කරනු ලැබීය.

ඊයේ දිනය තුළදී ශ්‍රී ලංකා ඉනිමේ සිදුවූ එකම සුවිශේෂී සිදුවීම වූයේ සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ ලකුණු 10,000 කඩයිම පසු කිරීම විය. තමා ක්‍රීඩා කරන ලද 195 වැනි ඉනිමේදී එම දස්‌කම කළ සංගක්‌කාර ලෝකයෙන්ම එම සීමාව පසුකර ගිය 11 වැනියා සහ ශ්‍රී ලංකාවෙන් එම හපන් කම කළ දෙවැනියා බවටද පත්විය.

ලොව වේගයෙන්ම ලකුණු 8000 සීමාව සහ 9000 සීමාව පසු කළ එකම ක්‍රීඩකයා බවට පත්වූ සංගක්‌කාර ලකුණු 10,000 සීමාව පසු කරනු ලැබුවේද අවම ඉනිම සංඛ්‍යාවකින් එම සීමාව පසු කරන ලද ලොව සුපිරි පිතිකරුවන් බවට පත්වූ බ්‍රයන් ලාරා සහ සචින් ටෙන්ඩුල්කාර් සමග සමතැන් ගනිමිනි.

සචින් ටෙන්ඩුල්කාර් ඉනිම 320 කදී ලකුණු 15,645 ක්‌ද, රිකී පොන්ටින් ඉනිම 287 කදී ලකුණු 13,378) ක්‌ද, රාහුල් ඩ්‍රාවිඩ් ඉනිම 286 කදී ලකුණු 13288 ක්‌ද, ජැක්‌ කලිස්‌ ඉනිම 268 කදී 12,980 ක්‌ද, බ්‍රයන් ලාරා ඉනිම 232 කදී ලකුණු 11,953 ක්‌ද, ඇලන් බෝඩර් ඉනිම 265 කදී ලකුණු 11,174 ක්‌ද, ස්‌ටීව් වෝ ඉනිම 260 කදී ලකුණු 10,927 ක්‌ද, ශිවනරීන් චන්ද්‍රපෝල් ඉනිම 249 කදී ලකුණු 10,696 ක්‌ද සහ මහේල ජයවර්ධන ඉනිම 229 කදී ලකුණු 10,122 ක්‌ද ලබා සංගක්‌කාරට ඉදිරියෙන් පසුවන ලොව සෙසු පිතිකරුවෝ වෙති.

මිචෙල් ජොන්සන්ගේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ 200 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල වශයෙන් සංගක්‌කාර දැවී යන විට පන්දු 98 කට මුහුණ දී ලකුණු 58 ක්‌ ලබා සිය 41 වැනි ටෙස්‌ට්‌ අර්ධ ශතකය සම්පූර්ණකරගෙන සිටියේය.

මංගල ටෙස්‌ට්‌ වරම් ලැබූ ජැක්‌සන් බර්ඩ් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දැවී ගිය පළමු පිතිකරුවා වූ දිමුත් කරුණාරත්නව(05) දවා ගනු ලැබීය. තණතීරුවේ වැදී කඩුල්ල තුළට ආ පන්දුව පිත්තේ ඇතුල් දාරයේ වැදී කඩුල්ල බිඳී යැම මත ඩිල්ෂාන්ද(11) පිටියෙන් ඉවත්වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 19 ක්‌ වශයෙන් සටහන්වී තිබිණි..

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වාර්තාවූ ඉහළම සම්බන්ධතාව වූයේ සංගක්‌කාර සහ සමරවීර දෙදෙනා විසින් සිව්වැනි කඩුල්ල සඳහා රැස්‌ කරන ලද ලකුණු 42 වූ අතර සංයමය ගිලිහී යැම මත එල්ල කරන ලද පහරකින් සමරවීර දැවී යැම මත එම වටිනා සම්බන්ධතාවට තිතතැබිණි.

මව්බිමෙන් පිටතදී ක්‍රීඩා කරන ලද අවසන් ඉනිම 25 තුළදී එකම හෝ අර්ධ ශතකයක්‌ වාර්තා කිරීමට අපොහොසත්ව සිටින මහේල ජයවර්ධන ඊයේ දිනයේදීද ලකුණු 03 කට ජොන්සන්ගේ ගොදුරක්‌ වෙමින් දැවී ගියේය. පළමු ටෙස්‌ට්‌ තරගයේ සිටම මෙතෙක්‌ ක්‍රීඩා කරන ලද සියලූම ටෙස්‌ට්‌ තරගයන්හිදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 50 ට වඩා ඉහළින් තබා ගැනීමට සමත්වූ මහේල ජයවර්ධන ඊයේ දිනයේදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යැම මත එම අගය 50 ට වඩා අඩු අගයක්‌ ගැනීම (49.64) ශ්‍රී ලංකා කඳවුරෙන් වාර්තා වූ තවත් කණගාටුදායක සිදුවීමක්‌ විය.

මෙල්බර්න් ක්‍රීඩාංගණ දත්තයන් වලට අනුව ඊයේ දිනයේදී තරගය නැරඹීම සඳහා 67,000 කට අධික ප්‍රේක්‍ෂකයන් පිරිසක්‌ පැමිණ තිබීමද කැපී පෙනුණි.

ප්‍රසන්න ජයවර්ධන තුවාල ලබයි


වේග පන්දු යවන මිචෙල් ජොන්සන් විසින් එවන ලද පන්දුවක්‌ දකුණත් මහටපැගිල්ලේ වැදීම මත ශ්‍රී ලංකා පිලේ කඩුලූ රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන තුවාල ලබා තිබේ.

ශ්‍රී ලංකා පළමු ඉනිම අතරතුරදී පන්දුවට පහර දෙමින් සිටියදී මෙම පන්දුව ප්‍රසන්නගේ අතේ ඇගිල්ලේ දැවටුණ අතර එය උඩපන්දුවක්‌ ලෙස ඇදී යැම මත පිටියෙන් අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වීමට ප්‍රසන්නට සිදුවිය. ඔහු ලකුණු 24 ක්‌ ලබා ගත්තේය.

ඒ අනුව ප්‍රසන්නව එක්‌ස්‌ කිරණ පරීක්‍ෂාවකට ලක්‌ කර තිබෙන අතර අවසන් වෛද්‍ය වාර්තාව අද උදෑසන ලැබීමට නියමිතය.

මෙම තත්ත්වය මත කඩුලූ රැකීමේ කාර්ය සිදුකරන ලද්දේ කුමාර් සංගක්‌කාර විසිනි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all