Photobucket

Tuesday, December 11, 2012

ශ්‍රී ලංකා පිතිකරුවෝ පිති මුවහත් කර ගනිති

මෙම මස 14 වැනිදා හොබාර්ට්‌හි ආරම්භ වන පළමු ටෙස්‌ට්‌ තරගයට පෙර ශ්‍රී ලංකාවට ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ සභාපතිගේ කණ්‌ඩායම සමග පැවැති පළමු හා එකම තුන්දින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව පෙරේදා නිමාවට පත්විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ සභාපතිගේ කණ්‌ඩායම කඩුලූ 6 කට ලකුණු 439 ක්‌ රැස්‌ කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්‌ඩායම තරගය නිමා වන විට කඩුලූ 6 කට ලකුණු 396 ක්‌ රැස්‌ කරගනිමින් ටෙස්‌ට්‌ තරගාවලිය සඳහා සාර්ථක ප්‍රවේශයක්‌ ලබා ගැනීමට සමත්වූවේය.

කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වූයේ ටී .එම්. ඩිල්ෂාන් වූ අතර හෙතෙම ලකුණු 101 ක්‌ ලබාගත්තේය. සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්‌ථාව සලසාදෙමින් ඩිල්ෂාන් පිටයෙන් ඉවත් වූ අතර අනතුරුව ශ්‍රී ලංකා ඉනිම තවත් අර්ධ ශතක 3 කින් වර්ණවත් කිරීමට සංගක්‌කාර(55), ප්‍රසන්න ජයවර්ධන(71) සහ දිනේෂ් චන්දිමාල්(57) සමත්වූහ.

තරගයේ අවසන් දිනය වූ පෙරේදා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක්‌ එක්‌ කිරීමට චන්දිමාල් සහ ප්‍රසන්න ජයවර්ධන දෙදෙනා සමත් වුවත් ඔවුන් දෙපළම තරගය නිමාවීමට පෙර අර්ධ ශතක ලබමින් දැවී යැම විශේෂත්වයක්‌ විය.

මෙම තරගාවලියට ආරම්භක පිතිකරුවකු ලෙස සිය දායකත්වය දක්‌වනු ලබන තරංග පරණවිතාන මෙම තරගයේ ක්‍රීඩා කරන ලද්දේ අංක 07 පිතිකරණ ස්‌ථානයේ වන අතර එහිදී ඔහු නොදැවී ලකුණු 17 ක්‌ ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ඇරැඹි දිමුත් කරුණාරත්න(40) සහ ඩිල්ෂාන් දෙදෙනා අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 105 ක්‌ රැස්‌ කරමින් සාර්ථක ආරම්භයක්‌ ලබාදීම කැපී පෙනුණි.

ලකුණු සාරාංශය - ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ සභාපතිගේ කණ්‌ඩායම 439/6 යි(හෙන්රි 207, කවාජා 56, මැක්‌ස්‌වෙල් 91, හෙඩ් 35, ප්‍රසාද් 128/2)

ශ්‍රී ලංකා කණ්‌ඩායම 396/6 යි(දිමුත් කරුණාරත්න 40, ටී. එම්. ඩිල්ෂාන් 101, කුමාර් සංගක්‌කාර 55, මහේල ජයවර්ධන 36, ප්‍රසන්න ජයවර්ධන 71, දිනේෂ් චන්දිමාල් 57, තරංග පරණවිතාන(නොදැවී) 17, ටර්නර් 93/2)

දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all