Photobucket

Thursday, December 27, 2012

උතුරුමැද මාර්ග හදන මුවාවෙන් රුපියල් කෝටි 350 ක්‌ පිල්ලි ගහලා!

උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය තුළ රුපියල් කෝටි තුන්සිය පනහකට වඩා පිල්ලිගිය මහා ඉල්ලමක්‌ පසුගිය වසර පහ තුළ පෑදී තිබුණේ යෑයි උතුරුමැද පළාත් නව මහ ඇමැති රංජිත් සමරකෝන් මහතා අනාවරණය කළේය.

මෙය හරියටම අලිබබා සහ හොරු තුන්හතර දෙනෙකුගේ කතාවකට සමාන යෑයිද අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මහා මාර්ග ප්‍රතිසංස්‌කරණයට හා කාපට්‌ කිරීමට මුවාවී රජරට සංවර්ධනයට ලැබුණු මුදල් මෙසේ තුන්හතර දෙනෙකුගේ සාක්‌කුවලට වැටී ඇතැයිද ප්‍රධාන ඇමැතිවරයා අනාවරණය කළේය.

උතුරුමැද මාර්ග සංවර්ධන අධිකාරියට අලුතෙන් පත් කළ සභාපති බී. ඒ. තිලකරත්න මහතා තනතුරේ වැඩභාර ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ප්‍රධාන ඇමැතිවරයා මෙම තොරතුරු හෙළි කළේය.

රට හදන්නට පත්වන දේශපාලකයන්ද ඒ සඳහා කළමනාකරණ මට්‌ටමේ තනතුරු භාර ගන්නා නිලධාරීන්ද, වැටත් නියරත් එක්‌ව ගොයම් කන්නා සේ මේ අන්දමට රටේ සංවර්ධනයට වෙන්කරන මුදල් සිය සාක්‌කුවලට පුරවා ගත් විට රටක්‌ හදන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහ ඇමැතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා වෙන්කරන මහජන මුදල් අවභාවිතයට යොදා ගන්නා නිලධාරීන් පිළිබඳව දැඩිව ක්‍රියා කරන බවද මෙහිදී අවධාරණය කළේය.

රජරට මාර්ග සංවර්ධනයට යෙදූ මුදල් අවභාවිතයට පත්වී ඇති අවස්‌ථා කීපයක්‌ම මේ වන විට හෙළිදරව් කරගෙන තිබේ.

ඔයාමඩුවේ පැවැති දැයට කිරුළ වැඩසටහනට සමගාමීව ඔයාමඩුව ප්‍රදේශයේ සහ අනුරාධපුර නාගරික ප්‍රදේශයේ පාරවල් රැසක්‌ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට්‌ අතුරා ප්‍රතිසංස්‌කරණය කරනලද නමුත් මේවායේ ප්‍රමිතිය බාලවීම හේතුවෙන් සමහර මාර්ගවල කාපට්‌ ආස්‌තරණය ගැලවී යන්නට පටන් ගෙන තිබේ. කාපට්‌ කළ ඇතැම් මාර්ගවල සමහර තැන් ගිලා බැස ඇත. සමහර තැන් පුපුරා ඉරිතලා ඇත. සමහර මාර්ගවල කොටසක්‌ පමණක්‌ කාපට්‌කර අතහැර දමා ඇත. මේ අන්දමට බොහෝ මාර්ගවල "කාපට්‌ ඇතිරීම" ප්‍රමිතියකින් තොරව සිදුකර තිබේ.

අනුරාධපුර අභයවැව අසලින් යන පාර (අරිප්පු පාර) කිලෝ මීටර් 3 1/2 ක්‌ දුරට කාපට්‌කර ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා වැයකර ඇති මුදල රුපියල් කෝටි නවයකට ආසන්නය. (මිලියන 88 ක්‌) මෙම මාර්ගය වැවඅද්දර පිහිටීමේ හේතුවෙන් පාරේ ගිලා බැසීම වළකාලීම සඳහා අඩි 3 1/2 ක්‌ ගැඹුරට පාර හාරා ගල් සහ බොරළු අතුරා තදකොට පසුව කාපට්‌ කිරීමට ඇස්‌තමේන්තු ගතකර තිබිණ. නමුත් පසුව සොයා බැලීමේදී අඟල් හයකට වඩා යටකට මේ අරිප්පු පාර හාරා නැති බව සනාථවී තිබේ. මෙම පාරේ සංවර්ධන කටයුතු දින දොළහකින් නිමකර තිබීමේ ප්‍රාතිහාර්යය නිසා මේ අරිප්පු මාර්ගයේ ප්‍රතිසංවර්ධනය පිළිබඳව පසුව සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණයවී තිබේ. මෙම අක්‍රමවත් ප්‍රතිසංස්‌කරණය නිසා දැනටමත් මේ මාර්ගයේ ස්‌ථාන කීපයක්‌ ගිලා බැසීමට පටන්ගෙන තිබේ. මෙම මාර්ගය ප්‍රතිසංස්‌කරණය කළ කොන්ත්‍රාත්කරුට එක වවුචර් පතකින් රුපියල් අටකෝටි අසූඅටලක්‍ෂයම ගෙවා ඇති බව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරුවලින් හෙළිවේ.

මැදවච්චියේ ඇතාකඩ සිට ඇටඹගස්‌කඩ දක්‌වා කිලෝ මීටර් 5 ක්‌ දිග මාර්ගය කාපට්‌ අතුරා සංවර්ධනය කිරීම.

ඇටඹගස්‌කඩ පවත්නා ගල්වැඩපළක අවශ්‍යතාවය සඳහා එම වැඩපළ හිමි සමාගම මගින් මෙම පාර කොටස බරවාහනවලට යාහැකි පරිදි ගල්අතුරා කාපට්‌ දමා සකස්‌කර තිබේ. පාරේ සියලු ඉදිකිරීම් කරන ලද්දේ මෙම සමාගම මගින් වුවත් පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා සම්බන්ධ කොන්ත්‍රාත්කරුවෙකු මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය හරහා තමන් විසින් සංවර්ධනය කළේ යයි සටහන් තබමින් රුපියල් දෙකෝටි තිස්‌ලක්‍ෂයක මුදලක්‌ කොන්ත්‍රාත්කරුවෙකු විසින් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

ඉහළවැව අධිරාණීගම මාර්ගය රුපියල් කෝටිහයක වියදමින් කිලෝ මීටර් පහක්‌ දුරට කාපට්‌ ඇතිරීම. මෙම මාර්ගය කාපට්‌කර ඇති නමුත් සමහර තැනක පුපුරා ඉරිතලා ඇත. පැති බැමි නොදැමීමේ හේතුවෙන් සමහර තැනක මාර්ගය සේදී ගොස්‌ ඇත. කාපට්‌ අතුරා නොතිබූ කිලෝ මීටර් භාගයක්‌ පමණ දුරවූ කොටස 2012.12.07 දින රාත්‍රියේ කාපට්‌ අතුරා සකස්‌ කරනු ලැබීය.

දැයට කිරුළෙන් පටන්ගෙන පසුගිය වකවානුව තුළ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ප්‍රතිසංවර්ධනය කරනලද සියලුම මාර්ග පිළිබඳව දැනට විමර්ශන කටයුතු ආරම්භ කරන ලද බවත් හැම මාර්ගයකම මූල්‍ය දූෂණ හා අක්‍රමිකතා සිදුවී ඇති බවත් දැනට පරීක්‍ෂණ පැවැත්වූ මාර්ගවලින් සනාථවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරුවලින් හෙළිවේ. මෙම දූෂණ හා අක්‍රමිකතා හෙළිවීමත් සමග ඊට වගකිවයුතු ඉහළ කළමනාකරණයේ නිලධාරීන් දෙනෙකුගේ වැඩ දැනටමත් නවත්වා ඇත. එවකට පැවැති දේශපාලන අධිකාරියේ ආශීර්වාදය මැද මොවුන් මෙසේ මහජන මුදල් කාබාසිනියා කර ඇති බව දැනට අනාවරණය වෙමින් පවතී.

මේ අතර පරීක්‍ෂණ කටයුතු දිගටම කරගෙන යැමේදී හෙළිවී ඇත්තේ උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ එක්‌ කළමනාකරණ මට්‌ටමේ නිලධාරියෙකු සෘතු තුනට මාළිගා තුනක්‌ ඉදිකරගෙන මහේෂිකාවන් සමග කලදවස ගෙවන බවය. මෙම මාළිගා තුන අනුරාධපුරය, පොළොන්නරුව සහ මහනුවර ප්‍රදේශවල ඉදිකර ඇති අතර අනුරාධපුර මාළිගාව පමණක්‌ රුපියල් කෝටි අටකට වඩා වටිනා බව තතුදත් අය කියති. දැයට කිරුළ හරහා රජය ආශ්චර්යයට යැමට පෙරුම්පුරන අතර සමහර නිලධාරීන් ඒ පහන් එළියෙන් තමන්ගේ මලු පුරවා ගැනීමට උපායශීලී වෙති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all